බිඟුන් මේනක ගමගේ
රාජ්‍ය බැංකුවක පරිගණක ජාලගත කිරීමේ ව්‍යාපෘති ටෙන්ඩරය සුදුසුකම් නොමැති සමාගමක් වෙත ලබාදීමේ සූදානමක් ඇතැයි ද එහි පාලනාධිකාරිය අදාළ සමාගමට ටෙන්ඩරය බාර දෙනු ලැබුවහොත් තමන් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නේ යැයි ද පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය පවසයි.
මෙම ටෙන්ඩරය පිරිනැමීම සඳහා නිර්දේශ නිකුත් කරන තාක්ෂණික කමිටුවට ඊට අවශ්‍ය තාක්ෂණික දැනුම නැතැයි ද එම සංවිධානයේ සභාපති රංජිත් විතානගේ මහතා චෝදනා කළේය.
දූෂණයට වැට බැඳීමට පෙරට එන්නැයි ජනාධිපතිවරයා රටවැසියන්ට ආරාධනා කළ ද තම සංවිධානය දූෂණ වංචා හෙළි කිරීමේදී රජය පාර්ශවයෙන් ඊට කිසිදු සහායක් දක්වා නැතැයි ද කී හෙතෙම එසේ නම් මෙම හෙළිකිරීම ගැන සොයා බලා මැදිහත්වන්නැයි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ යැයි ද කීය.

