ඥානසාර හිමිට ජනපති සමාව ඉල්ලන්න සිහළ රාවය සැරසෙයි


(බිඟුන් මේනක ගමගේ ) 
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙනම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කිරීම හේතුවෙන්  ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් ලබාගැනීම සඳහා ජනාධිපතිවරයා මුණගැසී සාකච්ඡා කිරීමට තම සංවිධානය ඇතුලු සංවිධාන කීපයක් තීරණය කර ඇතැයි සිහළ රාවය සංවිධානයේ සංවිධායක මාගල්කන්දේ සුදත්ත හිමියෝ පැවැසූහ.

ජනාධිපති සමාව ලබාදෙන මෙන් ඉල්ලා මීට පෙර බොදු බල සේනා සංවිධානයත් සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශ්ව ඇතුලු සංවිධාන රැසක් ද ජනාධිපති ලේකම්වරයාට ලිපි යොමු කළ ද මේ වනතුරුත් ඒවාට කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයි ද  සුදත්ත හිමියෝ කීහ.

ගෝනවල සුනිල් ආදී පාතාල ප්‍රබලයන්ටත් විවිධ අපරාධවල නිරත වූ පුද්ගලයන්ටත් සමාව දීමට ජනාධිපතිවරුන්ට හැකි වූයේ නම් රටේ උන්නතිය වෙනුවෙන් මැදිහත් වූ භික්ෂුවකට ජනපති සමාව දිය නොහැක්කේ මන්දැයි ප්‍රශ්න කළ උන්වහන්සේ ඥානසාර හිමියන් ජාතික ආරක්ෂාව ගැන පළ කළ අනාවැකි දැන් සත්‍ය වෙමින් තිබෙන්නේ යැයි ද කීහ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විදේශ සංචාරයක නිරත වන බැවින් හෙට හා අනිද්දා දෙදින සාකච්ඡාවක් ලබාගැනීමට අපහසුව ඇතැයි ද ජනාධිපතිවරයා නැවත දිවයිනට පැමිණි විගස මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නේ යැයි ද සුදත්ත හිමියෝ වැඩිදුරටත් සඳහන් කළහ.