ජෝන් සීනාට දෙන ප්‍රසිද්ධිය ගොවි තරුණයන්ට නෑ?


(අංජුල මහික වීරරත්න)

ජෝන් සීනා නිරුවතින් ඔස්කාර් සම්මාන උළෙලට ගියාට සමහර මාධ්‍ය දුන් ප්‍රසිද්ධිය රටේ කෘෂිකර්මාන්තයේ ඉහළ ආදායම් ලැබූ තරුණ ගොවීන්ගේ ප්‍රවෘත්තිවලට ලැබෙන්නේ නැතැයි කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

ලාංකික  තරුණ පිරිස් නැවතත් කෘෂිකර්මාන්තයට පිවිසෙමින් සිටින අතර කෘෂිකර්මාන්තයට නව තාක්ෂණය හඳුන්වා දීමත් සමග තරුණ ආකර්ශනය ඉහල ගොස් ඇතැයි අමාත්‍යවරයා කීය.

තුඹයා ලෙස ප්‍රසිද්ධව සිටින කේ. ඩබ්. චින්තක කුමාර මහතා විසින්  රන්මිණිතැන්න ප්‍රදේශයේ වගා කර ඇති අක්කර හයක එළවළු වගාව නිරීක්ෂණයට සහභාගී වෙමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා මේ බව පැවසීය.

තුඹ කරවිල වගාවෙන්  රුපියල් මිලියන ගණනක් උපයා ඇති චින්තක කුමාර මහතා අනතුරුව  උඩරට හා පහත රට එළවළු ගොවිපළේ සාර්ථකව වගා කර තිබේ.

කැරට්, බීට් රූට්, සලාද කොළ මෙන්ම ගෝවා ද මේ වනවිට එහි වගා කර ඇත.

නව කෘෂි තාක්ෂණය උපයෝගී කර ගනිමින් අවම රසායනික  පොහොර හා කෘමිනාශක භාවිත කරමින් මෙහි එළවළු වගා කර තිබෙන අතර කාබනික පොහොර භාවිත කරමින් පරිසර හිතකාමී වගාවට යොමු වී තිබීම අගය කරන බව මෙම අවස්ථාවට සහභාගී වෙමින් කෘෂිකර්ම  අමාත්‍යවරයා පැවසීය.