(පුෂ්පකුමාර ජයරත්න සහ කුරුණෑගල අධිකරණ රවීන්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු තිදෙනකුට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාග වන නඩුව ඊයේ (09) විභාගයට ගත් අවස්ථාවේදී විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන්කර විත්තිකරුවන් තිදෙනා නිදොස්කර නිදහස් කරන ලෙස විත්තියේ නීතිඥවරුන් කළ ඉල්ලීමක් පිළිබඳ තීන්දුව ලබන 17 වන දින ප්‍රකාශයට පත් කරන බව කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර මහත්මිය ප්‍රකාශ කළාය.
සතොස ආයතනයෙන් මුදල් නොගෙවා භාණ්ඩ ලබා ගැනීමේ චෝදනාව යටතේ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කුරුණෑගල මහාධිකරණයේ විභාගයට ගැනෙන මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය ඊයේ අවසන් විය.
පළමු විත්තිකාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වන වගන්තිය යටතේ විත්තියේ සාක්ෂි නොකැඳවා නඩුව අවසන්කොට විත්තිකරුවන් තිදෙනා නිදොස් කොට නිදහස් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අධිචෝදනා මත එල්ලකර ඇති චෝදනා පවත්වාගෙන යාමට නොහැකිවීම, පැමිණිල්ලේ සාක්ෂි විශ්වාසයෙන් බැහැරවීම තුළ පැමිණිල්ලේ සාක්ෂි පරස්පරවීම එම ඉල්ලීමට හේතු සාධක ලෙස ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නේය.
එම ඉල්ලීම පිළිබඳව අවධානය යොමු කළ විනිසුරුවරිය ලබන 17 වන දිනට පෙර ලිඛිත දේශන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පැමිණිලි හා විත්තිපාර්ශ්වවලට දැනුම් දුන්නාය.
විත්තියේ ඉල්ලීම පිළිබඳ තීන්දුව ලබන 17 වන දින ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන් විනිසුරු විජේසුන්දර මහත්මිය එදින තෙක් විත්තිකරුවන් තිදෙනා තවදුරටත් රිමාන්ඞ් භාරයේ තැබීමට නියම කළාය.
මෙම නඩුව මාසයක කාලයක් පුරා විභාග කෙරුණු අතර පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂිකරුවන් පහළොස් දෙනෙකුගෙන් පමණ සාක්කි විමසීම් සිදු කෙරිණි.
වර්ෂ 2013 ජුලි මස 01 වැනි දින සහ සැප්තැම්බර් මස 30 වන දින අතර කාලයේදී සතොස සමාගමට අයත් කුරුණෑගල යන්තම්පලාව ශාඛාවෙන් රුපියල් 3,82,8596.50ක් වටිනා භාණ්ඩ මිලදී ගෙන සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාව යටතේ විත්තිකරුවන්ට එරෙහිව නඩුව පවරා ඇත.
සතොස හිටපු නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරුන්, හිටපු ගණකාධිකාරිවරුන්, විධායක නිලධාරීන්, හිටපු කලාප කළමනාකරුවන්, යන්තම්පලාව සතොස ශාඛාවේ හිටපු කළමනාකරු, කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ඇතූළු පිරිසක් සමග කොළඹ මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරිහු පිරිසක්ද පැමිණිල්ල වෙනුවෙන් අධිකරණය හමුවේ සාක්ෂි දුන්හ.
පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් රොහාන්ත අබේසුරිය සහ රජයේ නීතිඥ විරාජ් වීරසූරිය මහත්වරු පෙනී සිටියහ.
විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන කාලිංග ඉන්ද්‍රතිස්ස, අනිල් ද සිල්වා, ශවීන්ද්‍ර ප්‍රනාන්දු මහත්වරුන් සමග ඉන්දික ගිරාගම, ලක්මාල් රත්නායක, ඬේල් ගුණවර්ධන, චලන විදානගේ, නෙරංජන් ඊරියගොල්ල, ජෙනට් රත්නායක යන නීතිඥවරු පෙනී සිටියහ.