විනීතා එම් ගමගේ
ජීවිතයට ආදරය කරන්නේ නම් සොබා දහමට ආදරය කරන්නැයි ද සොබා සම්පත් සුරකින්නැයි ද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සියලූ පුරවැසියන් ගෙන් ඉල්ලා සිටියේය.
සෑම සුබ කටයුත්තකදී ම පැලයක් සිටුවන්නට කටයුතු කරන්නැයි පාසැල් දරුවන් ගෙන් මෙන්ම වැඩිහිටියන් ගෙන් ඉල්ලා සිටින බව ද ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේය.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මේ අදහස් පළ කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ අද (19) පැවැති ජනාධිපති පරිසර සම්මාන ප‍්‍රදානෝත්සවයේ දී අදහස් දක්වමිනි.
එහි දී තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද පැවැසීය.
‘‘මේ නීල හරිත යුගයක් ගැන කතා කරන මොහොතක්. මෙතැනදිත් නීල හරිත යුගයක් වෙනුවෙන් වැඩ සටහන් රාශියක් කෙරෙනවා. ජනාධිපති පරිසර සම්මාන වගේම පරිසර ප‍්‍රදර්ශන, මාධ්‍ය සාකච්ඡා, ජාතික වැඩසටහන්, ආදී කටයුතු රාශියක් සිද්ධ වෙනවා.
පරිසරය කියන වචනය මෑත යුගයේ ඔබ අප පමණක් නොව සෑම රටකම සියලූ දෙනා මෙන්ම ලෝක ප‍්‍රජාව අතර පවා වැඩිම කථාබහට ලක්වන විෂයයක් බවට පත්වෙලා. එයට හේතුව පරිසර සංරක්ෂණයේ වැදගත් කමයි. ජීවත් වෙන්න පිරිසිදු වාතය ජලය ආහාර ප‍්‍රමුඛව අවශ්‍ය දේවල් තිබෙනවා. ඒවා සොයා ගන්නට උපකාර කරන සොබාදහමේ ආශිර්වාදයයි. මේ නිසා සියලූ දෙනා සොබාදහම ගැන දැනුවත් විය යුතුයි.
පැල ලක්ෂයක වන රෝපා ජාතික වැඩ සටහන පැල කෝටියක් සිටුවීමේ වැඩ සටහනක් දක්වා ගෙන යන්න අපි සුදානම්. පැලයක් සිටුවා ඉටු කරන්නේ වගකීමක්. එය මානව වර්ගයා වෙනුවෙන්ම ඉටු කරන වගකීමක්.
මේ ගැන අද දවස වනවිට පරිසරය ගැන පරිසර ප‍්‍රශ්න ගැන මුළු රටම දැනුවත්. ලොවම දැනුවත්. එක්සත් ජාතින්ගේ සංවිධානය ප‍්‍රමුඛ සියලූ ජාත්‍යන්තර සංවිධාන මේ වෙනුවෙන් එක්ව කැප වී සිටිනවා.
ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සමඟ සමාජ සංවර්ධන හා ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ, පරිසර සහ මහවැලි සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම, එම අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ යන මහත්වරු ද මෙම ජනාධිපති සම්මාන පිරිනැමීමට එක් වූහ.