ජීඑස්පී ගැන යුරෝපා කොමිසමෙන් යෝජනාවක්


ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම අද (11) නිවේදනය කළේය.

මානව හිමිකම්, කම්කරු නීති, යහපාලනය සහ පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් වෙමින් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීම  සලකා බලමින් යුරෝපා කොමිසම මෙම තීරණය ගෙන ඇත. 

මෙම ඒකපාර්ශවීක වෙළෙඳ සහනය යටතේ යුරෝපා සංගමයේ රටවලට කෙරෙන ශ්‍රී ලංකාවේ අපනයන මත පනවා තිබූ සියයට 66ක බදු සම්පූර්ණයෙන් ඉවත් කෙරෙන අතර ඊට ඇඟළුම් සහ මත්ස්‍ය නිෂ්පාදන ද අයත් වේ. මෙම සහනය ශ්‍රී ලංකාවට හිමි වනු ඇත්තේ වරණීය තීරුබදු ක්‍රමවේදය (ජී.එස්.පී ප්ලස්) සහනය ඔස්සේය. 

ජී.එස්.පී ප්ලස් සහනය නැවත හිමිවීම ඔස්සේ ශ්‍රී ලංකාවට යුරෝපා සංගමයේ රටවලට කෙරෙන අපනයන වැඩි කිරීමට හැකිවනු ඇතැයි යුරෝපා සංගමයේ, වෙළෙඳ කොමිසමේ, කොමිසාරිස්වරිය වන සිසිලියා මැම්ස්ට්‍රොම් මහත්මිය පැවැසූවාය.  එපමණක් නොව මේ ඔස්සේ ශ්‍රී ලංකාව මානව හිමිකම්, කම්කරු නීති, නීතියේ ආධිපත්‍යය සහ යහපාලන ප්‍රතිසංස්කරණ සිදු කරමින් එම මූලධර්ම ආරක්ෂා කරගැනීමට කටයුතු කරනු ඇතැයි ඇය කීවාය.

මානව හිමිකම් සුරක්ෂිත කිරීමට නොහැකි වීම නිසා යුරෝපා සංගමය ශ්‍රී ලංකාවට දී තිබූ ජී.එස්.පී ප්ලස් සහනය 2010 වසරේදී නවතා දැමුවේය.    2015 දී බලයට පත්වූ වත්මන් ආණ්ඩුව ජාතික සංහිඳියාව, මානව හිමිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කිරීම, නීතියේ ආධිපත්‍යය හා යහපාලන මූලධර්ම සුරක්ෂිත කරමින් කටයුතු කිරීමත් තිරසර ආර්ථික සංවර්ධනයක් වෙනුවෙන් කටයුතු කිරීමත් නිසා ජී.එස්.පී ප්ලස් සහනය නැවත දීමට තීරණය කළ බව ද යුරෝපා කොමිසම නිවේදනය කළේය. 

ශ්‍රී ලංකාවේ අපනයනවලින් සියයට 30කට ආසන්න සංඛ්‍යාවක් අපනයනය කෙරෙන්නේ යුරෝපා වෙළෙඳපොළටය.  ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ඇඟළුම් වෙළෙඳපොළවල් දෙක අතුරින් එකක් වන්නේ ද යුරෝපා සංගම් වෙළෙඳපොළය. අනෙක ඇමෙරිකා එක්සත් ජනපදයයි. ජී.එස්.පි ප්ලස් සහනය යටතේ අපනයන භාණ්ඩ 7500කට බදු ආවරණ හිමිවිය.