ජිනීවා සංවිධායකයෝ දෙළොවක් අතර


ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ශ්‍රී ලංකා උද්ඝෝෂණය අවලංගු කිරීම නිසා යුරෝපයේ සංවිධායකයෝ ප්‍රශ්න රැසකට මුහුණපා සිටිති.

ඉතාලියේ පිරෙන්සි නගරයේ ධම්මික උඩුනුවර මහතා පැවසුවේ ස්විට්සර්ලන්තයට යෑම සඳහා බස් තුනකට අත්තිකාරම වශයෙන් යුරෝ 4000ක් ගෙවූ බවයි. ගමනට යන අය කෑම බීම වෙනුවෙන් අත්තිකාරම් ද ගෙවූ බවයි. ඉතාලියෙන් බස් 40කින් ජිනීවා යෑමට නියමිතව සිටි බව සංවිධායකයෝ කීහ.

ඉතාලිය ඇතුළු යුරෝපයේ බොහෝ දෙනෙක් මේ ගමනට යෑම සඳහා නිවාඩු ද ලබා ගත්හ.

ඉතාලියේ දැඩි ආර්ථික පීඩනයක් මැද්දේත් දිනක වැටුප් පරිත්‍යාග කළේ රට වෙනුවෙන් වුවත් ගමන අවලංගු කිරීම ගැන බොහෝ දෙනෙක් නොසතුට පළ කරති.

යුරෝපයේ ඇතැම් ශ්‍රී ලංකා සංවිධානවල බෙදීමක් ඇති බව ද මේ සිද්ධියේ දී තහවුරු විය. ඇතැම් පිරිස් කෙළඹට නම ලකුණු කර ගැනීමේ උත්සාහයක යෙදුණු බවත්, යුරෝපයේ එක්තරා රටකින් බසයකට සෙනඟ සොයා ගැනීමට නොහැකි වූ බවත්, ජිනීවා යෑමට කැමැත්ත පළ කර ඇත්තේ දස දෙනකු බවත් වාර්තා විය.