ජිනවංශ හිමියන්ගේ ඝාතකයා සොයන්නයි හික්කඩුවේ උද්ඝෝෂණයක්


ඩී.ජී.සුගතපාල

රත්ගම පොල්ගස් දුව ආරණ්‍ය සේනාසනයේ වැඩ සිටි නෙදර්ලන්තයේ ජිනවංශ හිමියන්ගේ හදිසි අපවත්විම ඝාතනයක් බව පවසා ඝාතනයට සම්බන්ධ සැකකරුවන් අත් අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා ප්‍රදේශවාසින් පිරිසක් අද (15) උදේ හික්කඩුව නගරයේදි උද්ඝෝෂණයක් පවත්වන ලදි.

ජිනවංශ හිමියන්ගේ දේහය රත්ගම කලපුවේ පාවෙමින් තිබියදි ඉකුත් 8 වනදින සවස සොයාගනු ලැබු අතර පසුදින ගාල්ල මහේස්ත්‍රාත්වරයා ගොස් මූලික මහේස්ත්‍රාත් පරික්ෂණය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියෝග කලේය.

ඒ අනුව කරාපිටිය රෝහලේදි පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වු අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය මරණය සම්බන්ධයෙන් විවෘත තින්දුවක් ප්‍රකාශයට පත් කරමින් වැඩිදුර පරික්ෂණ සඳහා  සිරුරේ කොටස් වෛද්‍ය පර්යේෂණායතනයට යවා වාර්තාව ලැබුන පසු මරණයට හේතුව ප්‍රකාශ කරන බව පැවසුවාය.

මෙම අභිරහස් අපවත්විම සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවද පොලිස් කණ්ඩායම් කිහිපයක්ද පරික්ෂණ ආරම්බ කර ඇත.