ජාතික විධායක සභාව රැස්වෙයි


දින සියයේ වැඩසටහනට අනුව යෝජිත ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේහපාලන පක්ෂ හා පුරවැසි සංවිධානවල නියෝජනයෙන් යුතු ජාතික විධායක සභාවේ ප්‍රථම රැස්වීම අද ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා, රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා, ජාතික හෙළ උරුමයේ ප්‍රධාන ලේකම් පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක,  ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා සහ සමස්ථ ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රිශාඩ් බද්යුදින් යන දේශපාලන නායකයන් මේ සඳහා සහභාගී වූහ.

රැස්වීම අවසානයේ මාධ්‍යයට අදහස් දැක්වූ අනුර කුමාර දිසානායක කියා සිටියේ ජාතික විධායක සභාවේ පළමු රැස්වීම සාර්ථක වූ බවයි. එහිදී දින සියයේ වැඩසටහන ක්‍රියාත්මක කරණු ලබන දින වකවානු පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවත් අවශ්‍ය ව්‍යවස්ථාමය වෙනස්කම් පිළිබඳ එකඟතා කිහිපයකට එළැඹීමට හැකි වූ බවත් ඒ මහතා කියා සිටියේය. තොරතුරු දැන ගැනීමේ පනත, ජාතික ඖෂධ ප්‍රතිපත්තිය සම්මත කිරීම ආදී කරුණු සම්බන්ධයෙන් ද සාකච්ඡා කළ දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේ දැඩි ආන්දෝලනයකට තුඩු දුන් වංචා, දූෂණ හා අක්‍රමිකතා පිළිබඳ දැඩි අවධානයක් යොමුකර එ් සඳහා ගත යුතු නීතිමය ක්‍රියාමාර්ග කඩිනම් කිරීමට ද තීරණය කළ බවයි.