ජාතික පැසිපන්දු ශූරතාව වසර 22 කට පසුව පාසල් කණ්ඩායමට


ශ්‍රී ලංකා පැසිපන්දු සංගමය සංවිධානය කළ 49 වැනි ජාතික පැසිපන්දු තරගාවලියේ පිරිමි ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකා පාසල් කණ්ඩායම සමත්විය. පාසල් කණ්ඩායමක් ජාතික තරගාවලියේදී ශූරතාව දිනා ගත්තේ වසර 22 කට පසුවය. අවසන් වරට 2010 වසරේදී පැවැති ජාතික තරගාවලියේදී අවසන් පුර්ව වටයට සුදුසුකම් ලබාගත් පාසල් පිල එහිදී ගුවන් හමුදාව හමුවේ පරාජයට පත්විය. බම්බලපිටිය පොලිස් මූලස්ථාන පැසිපන්දු ක‍්‍රීඩා සංකීර්ණයේදී පෙරේදා (23) නිමා වු මෙම තරගාවලියේ කාන්තා ශූරතාව පිට පිට දෙවැනි වරටත් දිනා ගැනීමට වෙළෙඳ සේවා ක‍්‍රීඩිකාවෝ සමත්වුහ. පිරිමි තරගමාලාව පළමු, දෙවැනි සහ තෙවැනි ලෙස කොටස් තුනකින් පැවැති අතර කාන්තා තරගාවලිය කොටස් දෙකකින් පැවැත්විණ. පළමු කොටසේ පිරිමි අවසන් මහා තරගයේදී කොළඹ දිස්ත‍්‍රික් පිල පරදවා ලකුණු 65-42 ක ජයක් ලබා ගැනීමට පාසල් ක‍්‍රීඩකයෝ සමත්වුහ. පාසල් පිල තරගයේ පළමු අර්ධයේදීම ලකුණු 34-26 ක් ලෙස ඉදිරියෙන් සිටියේය. පාසල් පිලේ වැඩිම ලකුණු ලාභියා වු නායක ප‍්‍රනීත් උඩුමලගල (ලකුණු 23) පළමු කොටසේ තරගාවලියේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස සම්මාන ලැබීය. සුදේෂ් අහ්මඞ් (20) සහ කනිෂ්ක පෙරේරා (16) පාසල් පිලේ වැඩිම ලකුණු ලබාගත් ක‍්‍රීඩකයෝ වුහ. කොළඹ දිස්ත‍්‍රික් පිල වෙනුවෙන් නායක හර්ෂදේව ද සිල්වා (17), ප‍්‍රින්ස් ඇන්ඩෘ (12), ගයාන් ද කෘස් (4) ලකුණු ලැබුහ. වෙළෙඳ සේවා පිල සහ නාවික හමුදා පිල අතර පැවැති පළමු කොටසේ කාන්තා අවසන් මහා තරගයෙන් වෙළෙඳසේවා පිල ලකුණු 71-58 ක ජයක් ලැබීය. වෙළෙඳසේවා ක‍්‍රීඩිකාවෝ තරගයේ පළමු අර්ධය ලකුණු 32-24 ක් ලෙස ඉදිරියෙන් සිටීමට සමත්වුහ. පළමු කොටසේ දක්‍ෂතම ක‍්‍රීඩිකාව වු වෙළෙඳ සේවා පිලේ කුමරිණී සිල්වා ලකුණු 17 ක් ලබා ගත්තාය. ශාලිකා ගෝමස් (12) සහ බිනීකා තලගල (10) වෙළෙඳසේවා පිලට ලකුණු එක් කළහ. ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (23) සහ සෝලන්ගි ගුණවිජය (18) නාවික හමුදා පිලේ වැඩි ලකුණු ලබාගත් ක‍්‍රීඩිකාවෝ වුහ. තරගාවලියේ ත්‍යාග ප‍්‍රදානය ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ ප‍්‍රධානත්වයෙන් සිදුකෙරිණ.

සෙසු අවසන් තරග ප‍්‍රතිඵල:

දෙවැනි කොටස තරගාවලිය (පිරිමි) යාපනය දිස්ත‍්‍රික් පිල විසින් මහනුවර දිස්ත‍්‍රික් පිල පරාජය කරන ලදී. (81-54) දක්‍ෂතම ක‍්‍රීඩකයා: රොසඩෝරි පේතම් (යාපනය දිස්ත‍්‍රික් පිල) දෙවැනි කොටස තරගාවලිය (කාන්තා) විශ්ව විද්‍යාලයීය පිල විසින් යාපනය දිස්ත‍්‍රික් පිල පරාජය කරන ලදී. (65-49) දක්‍ෂතම ක‍්‍රීඩිකාව: පියුමිකා වීරරත්න (විශ්ව විද්‍යාලයීය පිල) තෙවැනි කොටස තරගාවලිය (පිරිමි) කිලිනොච්චිය පිල විසින් රත්නපුර දිස්ත‍්‍රික් පිල පරාජය කරන ලදී. (60-56) දක්‍ෂතම ක‍්‍රීඩකයා: නිර්මලනාදන් ඇන්තනී (කිලිනොච්චි පිල) පිරිමි ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු පිල කාන්තා අවසන් මහා තරගයේ උණුසුම් අවස්ථාවක්....