ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සිරිවර්ධන මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති කරන්නැයි නියෝග


තරිඳු ජයවර්ධන
 
කිලිනොච්චිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා වහාම වැඩබලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් කර මඩකලපුව දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව   එම කොමිසමේ ලේකම්වරයාට උපදෙස් ලබා දුන්නේය.
 
ජාතික පොලිස් කොමිෂන් සභාව පසුගිය මැයි මාසයේ දී පාලිත සිරිවර්ධන මහතා වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයකු ලෙස පත් කළ ද ඊට අදාල පොලිස් පණිවිඩය පොලිස්පතිවරයා මෙතෙක් නිකුත් කර නැතැයි පොලිස් කොමිසමේ ආරංචි මාර්ග කියයි.
 
කෙසේ වෙතත් බ්‍රහස්පතින්දා (04) රැස්වූ ජාතික පොලිස් කොමිෂන් සභාව සිරිවර්ධන මහතා මඩකලපුව දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට තීරණය කළ බව එහි ආරංචි මාර්ග පවසයි.
ඒ අනුව සිරිවර්ධන මහතා වහාම මඩකලපුව දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කර ඊට අදාල ලිපිය නිකුත් කරන ලෙස පොලිස් කොමිෂන් සභාව එහි ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරී පාලිත සිරිවර්ධන මහතා ඇතුළු පස් දෙනකු වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති ධුරයට පත් කරන ලෙස ජාතික පොලිස් කොමිෂන් සභාව මුල් වරට තීරණය කර පොලිස්පතිවරයාට දැනුම් දුන්නේ පසුගිය අප්‍රේල් පස් වැනි දා ය.

ඒ  මහතා සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ගාමිණී පෙරේරා මහතා වැඩ බලන පොලිස්පති ධුරයට පත් කිරීම ගැන නැවත සලකා බලන ලෙස පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පොලිස් කොමිෂන් සභාවෙන් ඉල්ලා තිබිණි.
 
එම තීරණය සලකා බලා යළිත් වරක් පොලිස් කොමිසම දැනුම් දුන්නේ ඒ දෙදෙනා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් පස්දෙනාම වැඩ බලන නියෝජ්‍ය පොලිස්පතිවරුන් ලෙස පත් කරන ලෙසයි.

කෙසේ වෙතත් අවස්ථා තුනකදීම ඔවුන් වැඩ බලන නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත් නොකළ අතර මැයි මාසයේ දී පොලිස්පතිවරයා   පාලිත සිරිවර්ධන මහතා හැර ඉතිරි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරු  හතර දෙනා වැඩ බලන පොලිස්පතිවරුන් ලෙස පත් කළේය.

මේ අතර පොලිස්පතිවරයා පාලිත සිරිවර්ධන මහතා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම  ව්‍යවස්ථාවේ 11 වැනි වගන්තියෙන් ආරක්ෂා කර ඇති කෘර , අමානුෂික සහ අවමන්සහගත සැලකීම්වලින් මිදීමේ අයිතිය උල්ලංඝණය කර ඇතැයි කියන පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය  අද  අවසර දුන්නේය.