තම ජීවිත කාලය පුරා සාධාරණ සමාජයක් බිහි කර ගැනීම වෙනුවෙන් නොනැවතී සටනක නියැළුණු මාදුළුවාවේ සෝභිත නාහිමියන්ගේ අභාවය පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ ශෝකය පළ කරන බව එම පක්ෂයේ දේශපාලන මණ්ඩලය කියයි.
විවිධ සමාජ ක්‍රියාකාරකම්වලට නායකත්වය දෙමින් කටයුතු කළ සෝභිත හිමියෝ දශක ගණනාවක් තමන්ගේ වරප්‍රසාද වෙනුවෙන් නොව සමජීය යහපත වෙනුවෙන් තමන්ගේ ලේ, කඳුළු, දහදිය කැපකළ ප්‍රගතිශීලී හිමි නමක් බව ද ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.
ඔවුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘විශේෂයෙන් 1988 මව්බිමට ඉන්දියා හමුදා ආක්‍රමණයක් සිදුවූ මොහොතේ ඊට එරෙහිව දිවි නොතකා සටන් වැදුණු ආකාරය ඒ ඉතිහාසය දන්නා කිසිවකුටත් අමතක විය නොහැක. මව්බිම සුරැකීමේ ව්‍යාපාරයේ පුරෝගාමී භික්ෂූන් වහන්සේ නමක වශයෙන් උන් වහන්සේ ඉටු කළ කාර්යභාරය අතිමහත්ය. මව්බිම තවත් රටක ප්‍රාන්තයක් නොවී නිදහස් රටක් ලෙස පැවතීම පිළිබඳව සතුටුවන සියලු දෙනාගේ කෘතඥභාවය, නිදහස් සටනට පණපෙවූ කුඩහපොළ හිමියන්ගේ පරම්පරාවේ උන්වහන්සේ වෙත පළවනු නිසැකය.
මෑත කාලීනව ගතහොත් සෝභිත හිමිපාණන්ගේ කාලය කැපවූයේ දශකයකට ආසන්න දුර්දාන්ත පවුල් පාලනයක නිමාව හා විශේෂයෙන් ඒකාධිපති ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ සටන වෙනුවෙනි. වරප්‍රසාද වරදාන පිරි මාවත් තිබිය දී ඒවා පිළිකෙව් කර සාධාරණ සමාජයක් වෙනුවෙන් සටන් වැදුණු උන් වහන්සේ බිහි වූ, නව පාලනයේ වැරදි ගමන පෙන්වාදීමට නොපැකිළුණහ.
තමන් වහන්සේගේ සමාජ දේශපාලන ජීවිතයේ අදීනභාවය අවසානය දක්වාම ආරක්ෂා කර ගත් මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ අපවත්වීම සිදු වන්නේ සමාජයට මඟපෙන්වීමට උන් වහන්සේලා සිය දහස් ගණනක් අවශ්‍යව ඇති සමයකය.‘

