ජවිපෙට 20,000ක් ගෙවන්න තංගල්ල පොලිසියට නියෝග


2009 ඡන්ද සමයේ ‘මහජරා ආණුඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය මේකද‘ යනුවෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විවේචනය කරන බැනරයක් ප්‍රදර්ශනය කිරීමේ චෝදනාව මත පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් තංගල්ල පොලීසිය ඔහුගේ මූලික අයිතිය කඩ කර ඇති බවත් ඒ වෙනුවෙන් රුපියල් 20,000 ක වන්දි ඔහුට ගෙවිය යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(5)තීන්දු කරන ලදී.

අනිල් ගුණරත්න, ඊවා වනසුන්දර සහ ප්‍රියන්ත ජයවර්ධන යන ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව දුන්නේය .

ඩැනිස්ටර් ගුණසේකර ඇතුළු තංගල්ල ප්‍රදේශයේ ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයින් දෙදෙනෙකු ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස තංගල්ල පොලිස් ස්ථානාධිපති , හිටපු පොලිස්පති , ජයන්ත වික්‍රමරත්න නීතිපති ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටියහ.

පෙත්සම්කරු පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් විවේචනයක් ඉදිරිපත් කරන  "මේ මහ ජරා ආණ්ඩුවක්" යනුවෙන් සඳහන් බැනරයක් තම නිවස ඉදිරිපිට ප්‍රදර්ශනය කළ බවයි. ජවිපෙ නීත්‍යනුකූල ඡන්ද කාර්යාලයක් සන්ධානයෙන් ගිනි තබා වැනසීමට විරෝධය පළකරමින් එසේ කර ඇත.
අනතුරුව තංගල්ල පොලීසියේ නිලධාරීන් පිරිසක් පැමිණ එම බැනරය කපා දමා තමන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව පවසන ඔහු  එමගින් තම අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස උල්ලංඝණය වී ඇති බවට තීන්දු කරන ලෙස පෙත්සමින් ඉල්ලා සිටී.

පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධීකරණය කියා සිටියේ තංගල්ල පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් අදාළ පුද්ගලයාගේ මූලික අයිතීන් කඩ කර ඇති බවයි.ඒ අනුව ඔහුට රුපියල් 20,000ක වන්දි ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය රජයට නියෝග කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ සුනිල් වටගල මහතා පෙනී සිටියේය.