ජර්මනියේ පුණ්‍යරතන හිමියෝ අපවත්වෙති


මඩකලපුව, පුන්නකුඩා පුණ්‍යාරාම විහාරාධිපති ජර්මනියේ පුණ්‍යරතන හිමියෝ මාරවිලදී අද (14) පෙරවරුවේ අපවත් වූහ. 2008 වසරේ දී උන්වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පුන්නකුඩා පුණ්‍යාරාමය ආරම්භ කර තිබේ.  මීට වසර 40 කට පෙර ජර්මනියේ සිට ලංකාවට පැමිණි මෙම හිමියන් ගිහි කළ ජර්මනියේ රූපවාහිනී නාලිකාවක අධ්‍යක්‍ෂකවරයකු වශයෙන්ද සේවය කර ඇත. උන්වහන්සේගේ ගිහි කළ නම වූයේ  රෝලෆ්ය. 
රෝලෆ් මහතා ලංකාවට පැමිණ හික්කඩුව ජනනන්දාරාමයේදි හික්කඩුවේ ඥානරතන හිමියන්ගේ නායකත්වයෙන්  පැවිදි දිවියට ඇතුළුවී ඇති අතර පසුව  බලංගොඩ ආනන්ද මෛත‍්‍රී හිමියන් සමඟ වැඩ වාසය කර තිබේ.  2008 වසරේදී එරාවූර් පුන්නකුඩා ප‍්‍රදේශයේ පුණ්‍යාරාම විහාරස්ථානය උන්වහන්සේගේ වියදමින් ආරම්භ කර එහි වැඩ වාසය කරමින් ආගමික මෙහෙවරෙහි නිරත වූහ. 
වසර ගණනාවක් ශාසනය වෙනුවෙන් කැප වෙමින් වැඩ වාසය කරන ලද ජර්මනියේ පුණ්‍යරතන හිමියෝ අපවත් වන විට 74 වැනි වියේ පසු වූහ.