ඉන්දියාවේ නව අගමැති නරේන්ද්‍ර මෝදි දිවුරුම් දීමේ උත්සවයට හිටපු අගමැති මන්මෝහන්සිං, කොංග්‍රස් නායිකා සෝනියා ගාන්ධි, ඇගේ පුත් රාහුල් ගාන්ධි මෙන්ම පරාජිත රජයේ හිටපු මැති ඇමැතිවරු රැසක්ම පැමිණියහ.
ශ්‍රී ලංකා ජනපති ඇතුළු දකුණු ආසියා සාක් රටවල නායකයෝ ද ආරාධිතයන් අතර වූහ.
අඩු ගණනේ 4000ක් පමණ ආරාධිතයෝ මේ උත්සවයට පැමිණියාය.
‘ජන මන ගණ අභිනායක ජය හේ භාරත භාග්‍ය විධාතා..‘ ඉන්දියා ජාතික ගීයේ තනුව වාදනය වීමෙන් පසුව ජනාධිපති මුඛර්ජී හමුවේ ශ්‍රී නරේන්ද්‍ර දමෝදර්දාස් මෝදි ඉන්දියාවේ 15 වැනි අගමැති ලෙස හින්දි බසින් දිවුරුම් දී පුස්තකයේ අත්සන් තැබීය.
කිසිවකුටත් අසාධාරණයකින් තොරව සාධාරණ යුක්ති ධර්මය අපක්ෂපාතීව ඉටු කරන බව පවසමින් මෝදි සිය ප්‍රතිඤ්ඤාව දී අවසන් කිරීමෙන් පසුව රැස්ව සිටියෝ අත්පොලසන් දී සිට සතුට පළ කළහ.
ඉන් පසු ඔහුගේ ඇමැතිවරු දිවුරුම් දුන්හ.
කැබිනට් ඇමැතිවරු 23 දෙනෙක් ද, කැබිනට් නොවන ඇමැතිවරු 10 දෙනෙක් ද, උප ඇමැතිවරු 11 දෙනෙක් ද දිවුරුම් දීම ඇරැඹූහ.
සුශ්ම ස්වරාජ් විදේශ කටයුතු ඇමැතිනිය ලෙස දිවුරුම් දුන්නාය.
ඝාම්භීර ලෙසත්, දැකුම්කළු ලෙසත් ඉන්දියාවේ රාශ්ට්‍රපතිභවාන්හි දී පැවැති මේ උත්සවයේ දී කතා කළ නරේන්ද්‍ර මෝදි පැවසුවේ තම කටයුතු තවත් විනිවිද ආකාරයෙන් පවත්වාගෙන යමින් ඉන්දියා ජනතාවට වඩාත් සමීප වන බවයි.
තමා සමග සෘජුවම අදහස් හුවමාරු කර ගැනීම සඳහා වෙබ් අඩවියක් ද ඇරැඹූ බව නව නායකයා ලොව ලොකුම ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයේ ජනතාවට සැළ කර සිටියේය.

