ජපානයේ රැකියා දෙන බව පවසා රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ විදේශ රැකියා ආයතනයක හිමිකරුවකු ලබන දහසයවැනි දා තෙක් රිමාන්ඩ් බන්ධනාගාරගත කරන්නැයි නියෝග කළ මාලිගාකන්ද ප්‍රධාන මහෙස්ත්‍රාත් එල්. ලියන ආරච්චි මහත්මිය ඔහුගේ බිරිය රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් මත මුදාහරින්නැයි ද නියෝග කළාය.
ගම්පහ රැකියා ආයතනයේ හිමිකරු වන රත්නායක මුදියන්සේලාගේ රංජිත් බණ්ඩාරනායක රිමාන්ඩ් කැරිණි. ඔහුගේ බිරිය වන ඒකනායක මුදියන්සේලාගේ සංජීවනීට ඇප නියම විය.
ගම්පහ යක්කල ප්‍රදේශයේ ‘හිරුකුම් ලංකා‘‘ නමින් විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් මේ වංචාව සිදු කැර ඇතැයි අධිකරණයේ දී කියැවිණි.
දිවයිනේ විවිධ ප්‍රදේශයන්හි දේවාල පවත්වාගෙන යමින් හා රජයේ ප්‍රබල දේශපාලනඥයින්ගේ ලේකම්වරයකු ලෙස පවසමින් මුදල් වංචා කර ඇති බවත් වංචා විමර්ශණ ඒකකය අධිකරණයට කීය.
කොළඹ වැල්ලවත්ත වංචා විමර්ශණ ඒකකය මාස හයක් මුළුල්ලේ පැවැත්වු පරීක්ෂණයකදී පසුගිය 18 වැනිදා වැලිකන්ද ප්‍රදේශයේ දී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ මොහොතේ මොහු ළඟ තිබී ව්‍යාජ විදේශ ගමන් බලපත් දහ අටක් සහ ජාතික හැදුනුම්පත් තුනක් වු බවත් මුදල් වංචා ගම්පහ අධිකරණයේ නඩු තුනක් ද, කඩුවෙල අධිකරණයේ නඩු දෙකක්ද, අලුත්කඩේ අංක 06 අධිකරණයේ නඩුවක්ද පවතින බවත් මොහු වංචා රැසකට හවුල් බවත් අනාවරණය වී ඇතැයිද වංචා විමර්ශණ ඒකකය අධිකරණයට දැන්වීය.