ජපානයෙ ගෙවුණු මධුසමය හරිම සුන්දර අත්දැකීමක්


1saranga_umali-wedding034gossiplankanews  

 

 

“දැන් අපිට කරන්න තියෙන්නෙ බොහොම ලස්සන සීන් එකක්. මේක බොහොම හැඟුම්බර විදිහට, කෝල විදිහට රඟපාන්න ඕනෙ. සසිපබා ළඟට සාලිය ඇවිත් සසිපබාගෙ මූණ බලලා ආදරේ ප්‍රකාශ කරන්න ඕනෙ. හරි හොඳයි අපි රිහර්සල් එකක් ගනිමු.”

 


අධ්‍යක්ෂ සනත් අබේසේකර, දර්ශනයේ ස්වභාවය මදක් පැහැදිලි කර දුන්නේය.


“එන්න සාලිය.... සසිපබා ඔයා ඉන්නෙ බොහොම ලැජ්ජාවෙන්. මොකද ඔයා ගැමි තරුණියක්. සාලිය නගරෙ ඉන්න ඉංජිනේරුවෙක්. ඔයාගෙ හිතේ මේ ඉංජිනේරුවට ආදරයක් තිබුණත් පොඩි බයකුත් තියෙනවා මේ ආදරේට... හරි දැන් සීන් එකට එන්න.”

DSC_7191
අධ්‍යක්ෂ කැමරා කාචයෙන්, මේ නළු නිළි යුවළ දෙස බලා සිටියේය.


සසිපබා ළඟට ආ සාලිය, ඇය දෙස බලා සිටියි.


සසිපබා, මගෙ හිතේ ඔයා ගැන ලොකු ආදරයක් ඉපදිලා තියෙනවා. සාලිය පැවසුවේය. එහෙත් ඔහුගේ කටහඬ වෙව්ලයි. ඔහුගේ හැඟීම්ද හොඳටම සසලය. සසිපබා මේ දර්ශනයට මුහුණ දෙන්නේ ද සජීවී ලෙසින් නොවේ.


හරි නෑ හරි නෑ.. සසිපබායි සාලියයි දෙන්නම ආදරේ ප්‍රකාශ කරන්න දන්නෙ නෑ. සාලිය ඔයා මීට කලින් කිසිම කෙල්ලකුට ආදරේ ප්‍රකාශ කරල නැද්ද?
අධ්‍යක්ෂ ඇසුවේය. “තව රිහර්සල් එකක් කරන්න.... ඔය සීන් එක ඔයිට වැඩියෙ සජීවී වෙන්න ඕනෙ මට පේන්නේ සාලියයි සසිපබායි දෙන්නම බයවෙලා වගේ.. සසිපබාගෙ අම්මා ඉන්න එකද ප්‍රශ්නෙ..”


ආදරය ප්‍රකාශ කරන දර්ශනයෙ නැවත වතාවක් ගන්නට සූදානම්ය. සාලිය සසිපබා ළඟට ආවත් එතැනින් පසු ඔහු සසිපබාට ආදරය ප්‍රකාශ කරන ආදරයේ සජීවී ගතියක් නොමැත.


“නෑ නෑ නෑ ඔහොම නෙමෙයි.. දෙන්නම අරහෙට ගිහින් පුළුවන් තරම් මේ සීන් එක පුරුදු වෙලා එන්න.. එතකං අපි ඊළඟ සීන් එකකට යමු.”


අධ්‍යක්ෂ තම සහාය අධ්‍යක්ෂවරයාට කීවේය. සසිපබා අම්මා ළඟට දිවගියේ ලැජ්ජාවෙන් මුහුණ රතු කරගෙනය. සාලිය ද මුහුණ රතු කරගෙන සසිපබා ළඟට ගියේය.


“ඔයාලා බයවෙලා පුතේ.”


සසිපබාගේ තනි නොතනියට පැමිණ සිටි ඇගේ අම්මා පැවසුවාය.


තොල්වල මතුවුණ දහදිය පිසගත් නළු නිළි යුවළම වතුර උගුරු කිහිපයක් බැගින් ද පානය කර ‘රිලැක්ස්’ වන්නට උත්සාහ ගත්හ.


අනතුරුව ඔවුහු නැවත වරක් ආදරය ප්‍රකාශ කරන භාරධූර රංගනය පුරුදු පුහුණු වූහ.


සඳවතක සේයා නම් වූ ටෙලි නාට්‍යය සඳහා සාලිය සහ සසිපබා ලෙස පෙනී සිටියේ සාරංග සහ උමාලි නම් නළු නිළි යුවළයි.


ඇත්තටම එදා ඒ සීන් එක රඟපාන්න ගිහින් මොකද වුණේ සාරංග..


මම සාරංග දිසාසේකරගේ මුහුණට එබී බලමි.DSC_9240

 


ඔහුගේ දෙතොල මන්දස්මිතයකින් නැහැවී ගියේය.


“මට හිතෙන්නෙම ඒ වෙලාවෙ උමාලි ගැන ලොකු ආදරයක් මගෙ හිතේ පිරිල තිබුණා... ඒ නිසා ඒක ඇත්තටම කියන දෙබසක් කියලා මට හිතෙන්න ඇති. බැරි වෙලාවත් උමාලි බෑ කිව්වොත් කියන බය මගෙ යටිහිතේ තියෙන්න ඇති..”


ඔයාටත් එහෙමද උමාලි? 

 


මම උමාලි තිලකරත්නගෙන් අසමි.
“ඔව්.. සාරංගව දැකපු ගමන්ම මටත් හිත ගියා... ඒ ලස්සන කොල්ලා හැමදාම මගෙ වෙනවනම් කියලා මට හිතුණා...”


අර සීන් එක කරද්දි ඔයාටත් බය හිතුණා ද ඉතින්....


ඔව් අම්මත් බලන් හිටියනෙ....


සාරංගත් උමාලිත් දෙදෙනාම සිනාසෙති. හිත මොන තරම් ආදරයකින් පිරුණත් ඒ ආදර හැඟීම වචනවලට පෙරලීම මොනතරම් අමාරු කටයුත්තක් ද?
සිවිල් ඉංජිනේරුවකු ලෙස ගමට පාලමක් හදාදෙන්නට පැමිණි සාලිය අවසානයේ සසිපබාට සාර්ථක ලෙස ආදරය ප්‍රකාශ කළේය. මේ ටෙලිනාට්‍යය අවසන් වන්නට කලින් දිනෙක සාරංග නැවත වරක් ඔහුට රඟපාන්නට අපහසු වූ දර්ශනය සාර්ථක ලෙස රඟපෑවේය.


“උමාලි එදා මට හරියට කියාගන්න බැරිවුණ දෙබස් ටික, මට ආයෙමත් හරි විදිහටම ඔයාට කියාගන්න ඕනෙ.”


සාරංග කීවේය.


උමාලිගේ හදවතේ විදුලියක් ඉපදී මුලු සිරුර පුරාම පැතිර ගියේය.


ඇත්තවශයෙන්ම ඇය ද බලාසිටියේ මේ ආදරණීය දර්ශනය සාලියටත් සසිපබාටත් පමණක් සීමා නොකර සිටීමටය. උමාලි යාම්තමට සිනාසී සාරංග දෙස බැලුවාය.


“උමා ඇත්තටම මම ඔයාට ආදරෙයි... මට හිතෙනවා අපි දෙන්නා ලස්සන කපල් එකක් වෙයි කියලා....”


සාරංග කීවේය.


උමාලි වහාම සාරංගගේ අත අල්ලාගත්තාය.


සාරංග එදාම ගෙදර ගිය විගස අම්මාට මේ ආදර කතාව පැවසුවේය. උමාලි ද තම මවට සාරංග ගැන කීවාය.


හැමෝම කැමති වුණාද? ඉතිං 


මම මනමාලයා දෙස යටැසින් බලමි.


“අම්මල දෙන්නනම් අවුලක් වුණේ නෑ. ඒත් උමාලිගෙ තාත්තා නම් කැමැත්තක් පෙන්නුවෙම නෑ. එයා ඉක්මනටම උමාලිව මගෙන් ඈත්කරල ජපානෙට යැව්වා.”


නාට්‍යෝචිත අවස්ථාවකි. මේ කතාවත් ටෙලි නාට්‍යයක එන සිදුවීමක් දැයි මට මොහොතකට සිතිණි.


ඊට පස්සෙ?


මම සාරංගගේ මුහුණ බලමි.


“උමාලි ජපානෙට ගියා. ඒ යන්න කලින් මට කියලා ගියේ එයා ජපන් යන්නෙ ඉගෙන ගන්න කියලයි. කොහෙ හිටියත් හිත තියෙන්නෙ මගෙ ළඟ කියලා කිව්වා. මං හිත හදාගත්තා. උමාලිගෙ අම්මා වුණත් මගෙ හිත හැදුවා...”


තාත්තා විතරයි උදැල්ල දැම්මෙ?


“ඔව්”


ජපානෙ ජීවිතේ කොයිවගේද උමාලි?


මම උමාලි දෙස බලමි


“මම ජපානෙදි සිංදුවක් කිව්වා. ඒක සාරංග වෙනුවෙන් ඒවගේම මගේ තනිකම ගැන.


මේ තරම් මල් ඇයි හිනාවෙන්නේ
මේ තරම් හැඟුමන් කොහෙන් එන්නේ
කිසිම දවසක නුදුටු නුපුරුදු
සොඳුරු මිහිරෙන් හිත පිරීයන්නේ
වසන්තය මල් අරන් ඇවිදින්
තුරුණු හිත ළඟ හැඟුම් පුබුදන්නේ


ඔය සිංදුව කියලා මම සාරංගට ඊමේල් කළා...


“ඔය කාලෙදි වැලන්ටයින් දවස් එහෙමත් එන්න ඇති... ආවා.. ආවා....” 


සාරංගත් උමාලිත් උත්තර දෙන්නේ එකටමය.


වැලන්ටයින් දවසට මම කළේ ජපානෙ සමාගමකට සල්ලි යවලා රෝස මල් චොකලට් වගේ දේවල් සමාගම හරහා උමාලිට යවන එක. උමාලිත් එයාගෙ යාලුවො හරහා එදාට මට තෑගි එව්වා. ඒත් ඒ තෑගිවලට වැඩියෙ මට වටිනාකමක් දැනුණෙ වැලන්ටයින් දවසට උමාලි මට ලියල එවන පුංචි පුංචි කවිවලට.
සාරංග උත්තර දුන්නේය.


“එක වැලන්ටයින් දවසක සාරංග මට තෑගි දුන්නෙ ටෙඩියෙක්... මම ඒ ටෙඩියට හරිම ආදරෙයි. සමහර වෙලාවට තනියම රට යනකොටත් මම ඒ ටෙඩියව අරන් යනවා.”


උමාලි ඇගේ මතක පොත පෙරලුවාය.


උමාලි ජපානයේය.


සාරංග ලංකාවේය.


එහෙත් ඔහු ලංකාවේ අතිශය කාර්යබහුල පෙම්වතෙක් විය. උමාලි ජපානයේ තනිව සිටිය දී සාරංග ලංකාවේ තවත් කෙල්ලන් සමග පෙම් ජවනිකා රගපෑවේය.


“ඒක මගෙ රස්සාව.”


සාරංග තමන්ගේ පෙම් සබඳතා සාධාරණීකරණය කළේය.


“මම නළුවෙක් විදිහට පෙම්වතාගේ චරිතය රඟපෑවෙ..”


“උමාලිට අප්සෙට් නැද්ද ඉතින්. තමන්ගෙ කොල්ලා වෙනින් කෙල්ලො එක්ක පෙම් රැඟුම් රඟනවාට...”


“මුලින් මුලින් දුක හිතුණා. ඒත් ඉතින් මං යථාර්ථය තේරුම් ගත්තා. සාරංග හැබෑ ජීවිතේ දී ආදරේ මට විතරක් බව මං දන්නවනෙ”


හුස්ම සිඹින්නම් පෙම් පවනැල්ලේ
ආදරෙන් වෙලා
ඔබ ළඟ ඉන්නම් ඔය ඇස් අස්සේ
හීනයෙන් පවා
ඒ හීනගත්ත රෑ හීන සේ
නෙතුගාව නැවතිලා පායා
මනමාල හැඟුමන් අපේ හිත පාරලා
තුරුලට වෙන්නම් ඔය හිතමත්තේ
ජීවිතේ ළඟ නිහඬව ඉන්නම්
ඔය නෙතුමානේ ආදරේ නිසා
ලස්සන දුන් ඔබ ඔය කඳුළු සේයා
දුර ඈත ඔබ යනවා සඟවා
හැඩකාර හැඟුමෙන් අපේ ළඟ පෑහිලා


මොකක්ද මේ සිංදුව?


උමාලිත් සාරංගත් කියන මේ ගීතය ගැන මම අසමි


“උමාලි නිවාඩුවට ලංකාවට ආපු වෙලාවක කරපු සිංදුවක්.”


මේ පෙම්වත්තු පසු දවසක විවාහ වූහ. ඒවනවිටත් උමාලිගේ ජපන් රටේ අධ්‍යාපනය අවසන්ව තිබුණේ නැත.


තාත්තගෙ උදැල්ල ඔයාලගෙ විවාහයට අවුලක් වුණේ නෑ..


මම සාරංග ගෙන් රහසින් අසමි.


“නෑ තාත්තා බොරුවට අකමැත්ත පෙන්නල තියෙන්නෙ. පස්සෙ දවසක තාත්තා මට කිව්වෙ තාත්තා දුෂ්ටයෙක් වගෙ හිටියෙ නැත්නම් මේ ප්‍රේම කතාව ලස්සන වෙන්නෙ නෑ කියලයි. ඕනෑම ප්‍රේමයක් ලස්සන වෙන්නෙ බාධක තිබුණ තරමට බව තාත්තත් දන්නවලු.”


සාරංගත් උමාලිත් සමග මමත් හඬනගා සිනාසුනෙමු.


ඉනික්බිති ඔවුන්ගේ විවාහය සිදුවිය. එදා මේ පෙම් යුවළ ගායක යුවළක් බවට ද පත්වූහ.

 

ආදරේ කතන්දරේ
රහසේ පිටුවක පෙරලුනා
ආදරේ කතන්දරේ
රහසේ පිටුවක් පෙරලුනා
දෙහදක් යාකළ හදවත සේයා
ඔබ මා තුරුලේ නැවතුනා

සිත්විලේ පිරුණු ආදරේ
උතුරා දෙනෙතේ හැංගුනා
හිරුදිනී පායා හදේ
මදුමල් සිහිනේ යාවුනා
හසරැල් මුවගේ පීදුනා
රන්හුයෙන් බැඳුණු ප්‍රේමයේ
මිහිරියි ඔබ හා කල්පනා
ඔබ මගේ සොඳුරී හදේ
ආදරේ වර්ෂා වෑහුනා
දෙහදේ පැතුමන් ඉටුවුණා...

 

විවාහ වූ ඔවුහු ජපානයට ගියහ.


කොහොමද සාරංග ඒ දවසේ


මම අසමි


“අපි මාස එකහමාරක් විතරම ජපානෙ හිටියා. ඒකාලෙ කියාතෝ පැත්තට ගිහින් පරණ විහාරාරාමවල නටබුන් එහෙම බලාගත්තා. පූජි කන්දට එහෙමත් නැග්ගා. ඒ ගමන හරිම සුන්දර මතකයක් හිතේ ඉතිරි කළේ.”


උමාලි අද සාරංගගේ පියඹයි. උයා පිහා ඔහුට කන්නට දෙන්නේ ද ඇයයි.


“උමාලි නිර්මාංශයි. නමුත් ඇය හරිම රසවත් විදිහට ජපන් කෑම වර්ග හදනවා. විවිධ නූඞ්ල්ස්, සුප්, තෙම්පුරා වගේ කෑම. එළවලු වුණත් උමාලි උයන්නේ වෙනස් වෙනස් ක්‍රමවලට.


සාරංග, උමාලි දෙස හොරෙන් බලයි.


කන්න පුලුවන්ද ඉතිං


මම උමාලි දෙස හොරෙන් බලමින් අසමි.


“මොකද කන්න බැරි සාරංග ඒ කෑම කන්නෙ පෙරේතයා වගේ.”


උමාලි ඇගේ කෑම ගැන කියන්නේ සිනා සිසීය.


ඔවුන්ගේ කැදැල්ල හෙට දවසේ වඩාත් සුන්දර වනු ඇත. නළු නිළි යුවළක් පමණක් නොව ගායක ගායිකා යුවළක් ද වන මේ තුරුණු අඹු සැමි යුවළ ආදරයෙන් බැඳී ආදරයේ මිහිර ලොවට කියාදෙමින් සිටිති.


“මේ වැලන්ටයින් එකටත් අපි දෙන්නා අලුත්ම සිංදුවක් රිලීස් කරනවා.”


උමාලි සාරංගට අමතක වූ කාරණාවක් සිහිපත් කළාය.


ඒ මොකක්ද? මම අසමි.


මේ තරම් සෙනෙහසින් ළංවෙලා සැමදා
සීතලේ උණුහුමෙන් පෙම් කළා රෑ පුරා
වේදනා පාවෙලා ආදරේ නිසා
නොහඬා ඉන්න මං
හැමදා එන්න ඔබ
රැඳිලා ඉන්න දිවියේ


සාරංගත් උමාලිත් තාලයට ගයන්නට පටන්ගත්හ.


සැබැවින්ම මේ අඹුසැමියන්ගේ ආදරණීය ප්‍රාර්ථනාවයි.


                       ශාන්ත කුමාර විතාන