ජපන් සිහිනය බොද කළාට වසර 15ක් මහඋළු ගෙදරට


(නිමන්ති රණසිංහ)

ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා පුද්ගලයන් 15 දෙනකුකට අධික පිරිසකගෙන් රුපියල් ලක්ෂ 50කට අධික මුදලක් වංචා කළ බවට වරදකරුවූ කොළඹ 07 කුරුදුවත්ත රොස්මිඩ් පෙදෙසේ විදේශ රැකියා ඒජන්සියක හිමිකරුවකුට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා වසර 15ක සිරදඬුවමක් අද (03) නියම කළේය.

පැමිණීලිකරුවන්ගෙන් වංචා කළ රුපියල් ලක්ෂ 50කට අධික මුදල යළි පැමිණීලිකරුවන්ට ගෙවන ලෙසත්, එසේ නොගෙවන්නේ නම් එක් නඩුවක් සදහා ගෙවිය යුතු මුදල වෙනුවෙන් මාස 06 බැගින් වසර හත හමාරක ලිහිල් සිරදඩුවමක් ද අධිකරණය විසින් චුදිතට නියම කරනු ලැබීය.

මෙලෙස සිරදඬුවම් නියම වූයේ මේ වන විට අධිකරණය මග හැර සිටින විවෘත වරෙන්තුකරුවකු වන නො. 25/ 27, ශ්‍රී විපුල සේන මාවත, මරදාන, කොළඹ 10 පදිංචි පුබුදු මනෝජ් රණවක පතිරණ හෙවත් ‘රොෂාන්’ නැමැත්තාටය.

මෙම චූදිත නොමැතිව අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, මුල් අවස්ථාවේදී චූදිත අධිකරණයේ පෙනී සිටිමින් වංචා කළ මුදලින් සුලු කොටසක් පැමිණීලිකරුවන්ට ගෙවා තිබූ බව ද අධිකරණයේදී කරුණු හෙළි විණී. මෙම චූදිතට එරෙහිව අධිකරණය විසින් මේ වන විට විදෙස් ගමන් තහනම් කිරීමේ නියෝගයක් ද නිකුත් කරනු ලැබ ඇත.