(මනෝප්‍රිය ගුණසේකර)
මෛත්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කළ බවට චෝදනා ලැබ සිටින එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතාට එරෙහි නඩුවේ සාක්කිදීම සඳහා ලබන වසරේ ජනවාරි මස 22 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට අද (9) සිතාසි නිකුත් කළේය.
මෙම නඩුවේ සාක්කිදීම සඳහා අධිකරණයට පැමිණෙන ලෙස දැනුම් දෙමින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට මෙලෙස සිතාසි නිකුත් කරන ලද්දේ පස්වැනි වතාවටය.
මෙම නඩුව විභාග කිරීම සඳහා කැදවනු ලැබු අවස්ථාවේදී මෙම නඩුවේ විත්තිකාර එක්සත් ජාතික පක්‍ෂයේ හිටපු මහලේකම් තිස්ස අත්තනායක මහතා අධිකරණයේ පෙනී සිටිමුත් එම නඩුවේ සාක්කිකරුවන් ලෙස නම් කර සිටින ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හෝ අග‍්‍රාමාත්‍ය රනිල් වික්රමසිංහ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේ නැත.
2014 දෙසැම්බර් මස 31 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹදී මෛත‍්‍රීපාල සිරිසේන මහතා සහ රනිල් වික්රමසිංහ මහතා අතර ගිවිසුමක් ඇති බවට කූට ලෙස සකස් කළ ලියවිල්ලක් මාධ්‍ය වෙත ඉදිරිපත් කිරීම මඟින් දඩුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බව නීතිපතිවරයා විසින් චෝදනා නඟා ඇත.
විත්තිකරුට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා තුන දණ්ඩ නීතී සංග‍්‍රහය යටතේ සහ සිවිල් හා දේශපාලනඥයින් අතර ජාත්‍යයන්තර සම්මුති පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදවල් සිදු කර ඇති බවද නඩු ගොනුවේ සඳහන් වේ.