ජනමාධ්‍ය විශිෂ්ටයන් ඇගයීම අඟහරුවාදා


ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙල අඟහරුවාදා (2) ගල්කිස්ස මහ හෝටලයේදී පැවැත්වීමට නියමිතය. මෙවර එම සම්මාන උළෙල පැවැත්වෙනුයේ 17 වැනි වරටය.

කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන මෙම උළෙලේ දී ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ පසුගිය වසරක කාලයක් තුළ දී දක්ෂතා පෙන්වූ විශිෂ්ටයන්ට අංශ 14ක් යටතේ සම්මාන ලබාදීමට නියමිතය. වසරේ ජනමාධ්‍යවේදියා, ගවේෂණාත්මක මාධ්‍යවේදියා, වසරේ හොඳම පරිසර මාධ්‍යවේදියා, ක්‍රීඩා මාධ්‍යවේදියා, හොඳම තරුණ මාධ්‍යවේදියා, හොඳම ඡායාරූප මාධ්‍යවේදියා ආදී අංශ ගණනාවක් ඊට ඇතුළත්ය.

එහිදී ජීවිත කාලයට එක්වරක් පමණක් හිමිවන ඩී.ආර්.විජයවර්ධන සම්මානය මෙවර හිමිකරගන්නා ජ්‍යෙෂ්ඨ ජනමාධ්‍යවේදීන් පස් දෙනෙකි.

නෙවිල් ද සිල්වා

සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත‍්‍ර සමාගමෙන් (ලේක්හවුස්) සිය වෘත්තීය ජීවිතය ආරම්භ කරන ලද නෙවිල් ද සිල්වා මහතා පසුකාලීනව එහි ජ්‍යෙෂ්ඨ තනතුරු කිහිපයක් ද හෙබවීය. නෙවිල් ද සිල්වා මහතා ‘නිව් යෝක් ටයිම්ස්‘, ‘කි‍්‍රස්ටියන් සයන්ස් මොනිටර්‘, ‘ද ගාඩියන්‘, ‘ලෙ මොන්ද්’,  ‘ඒෂියන් වෝල් ස්ටී‍්‍රල් ජර්නල්‘,  ඒ.එෆ්.පී (ප‍්‍රංශ පුවත් සේවය) ආදී විදෙස් මාධ්‍ය කිහිපයක වාර්තාකරුවකු ලෙස ද කටයුතු කර ඇත. ඔහු දැනට විජය පුවත්පත් සමාගමේ ‘ද සන්ඩේ ටයිම්ස්’ පුවත්පතට නිරන්තරයෙන් ලිපි සපයයි.

පියසේන ඉහළවිතාන

පියසේන ඉහළවිතාන මහතා දිගුකලක් තිස්සේ ස්වාධීන පුවත්පත් සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරන ලද ‘දවස’ පුවත්පතේ මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළේය. ලේක්හවුස් පුවත්පත් සමාගමේ ‘දිනමිණ’ පුවත්පතට එක්වීමට පෙර ඉහළවිතාන මහතා ‘දවස’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ ධුරය ද හෙබවීය. ඉන්අනතුරුව ඔහු ලීඩර් ප‍්‍රකාශන සමාගම විසින් ප‍්‍රකාශයට පත් කරන ‘ඉරුදින‘ පුවත්පතට එක් වූ අතර 2012 වසර ඉහළවිතාන මහතා එම පුවත්පතේ ප‍්‍රධාන උප කර්තෘවරයා ලෙස සේවය කළේය.

වීරගති තනබාලසිංහම්

වීරගති තනබාලසිංහම් මහතා 1977 දී ‘එක්ස්ප‍්‍රස් නිව්ස්පේපර්ස් සිලෝන්’ සමාගම ප‍්‍රකාශයට පත් කරන ‘වීරකේසරි’ පුවත්පතේ සෝදුපත් බලන්නකු ලෙස එක් වූ ඔහු වසර විස්සකට ආසන්න කාලයක් ‘වීරකේසරි’ පුවත්පතේ සේවය කළේය. ඔහු 1997 දී ‘තිනකුරල්’ පුවත්පත ආරම්භ කිරීම සඳහා සහයෝගය දැක් වූ අතර එහි සමාරම්භක කර්තෘවරයා ලෙස පත්විය.  

සරත් මලලසේකර

සරත් මලලසේකර ලේක්හවුස් පුවත්පත් සමාගම ප‍්‍රකාශයට පත් කරන ‘ඩේලි නිව්ස්’ හා ‘සන්ඩේ ඔබ්සවර්’ යන පුවත්පත්වල උසාවි වාර්තාකරුවකු ලෙස සේවය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි. මලලසේකර මහතාගේ අධිකරණ වාර්තා සිංහල භාෂාවට ද පරිවර්තනය කෙරුණු අතර ඒවා ලේක්හවුස් පුවත්පත් සමාගමේ ම ප්‍රකාශන වන ‘දිනමිණ’ හා ‘සිළුමිණ’ යන පුවත්පත්වල පළවිය.

පේ‍්‍රමසිරි අබේසිංහ

 ‘සියරට’ පුවත්පතෙන් තම වෘත්තීය ජීවිතය ආරම්භ කළ පේ‍්‍රමසිරි අබේසිංහ ශ්‍රී ලංකාවේ පැරැණිතම පුවත්පතක් වන ‘සිංහල බෞද්ධයා’ පුවත්පතේ ද සේවය කළේය. පේ‍්‍රමසිරි අබේසිංහ මහතා 1977 දී උප කර්තෘවරයකු ලෙස ‘දිනමිණ’ පුවත්පතට එක් වූ අතර පසුකාලීනව ‘බුදුසරණ’ පුවත්පතේ කර්තෘවරයා ලෙස පත්විය.