ජනප්‍රිය ගායකයෙක් වෙන්න තුන් හිතකවත් තිබුණේ නෑ


වාසනාව උදාවන්නේ උන්හිටිගමන්ය. කවුරුවත් නොදන්න නොසිතනා මොහොතකය. ආශ්චර්යයක්ද උදාකරමිනි. අද ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තෙහි සිටින  ඕනෑම ගායකයෙක්  ඕනෑම ගායිකාවක් ඔවුන්ට වාසනාව ගෙනා ගීතයක් ගැන කතා කරනු නියතය. ඉතින් වාසනාව ගෙනා ගීය ගැන හිතේ හැටියට කතාකරන්නට ශ්‍රී ලංකා ගායක ගායිකා සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්ට ඇරියුම් කළෙමු.

ඒ 1981 අවුරුද්ද. ඔය කාලේ මම ස්ටැන්ලි පීරිස්ගේ වාදක කණ්ඩායමේ බේස් ගිටාර් වාදකයා විදියට කටයුතු කළේ. ස්ටැන්ලි පීරිස්, රෝහණ වීරසිංහ, සරත් දසනායක වගේ ප‍්‍රවීණ සංගීතඥයන් ගීතයක් නිර්මාණය කරන හැම වෙලාවේම ඔවුන් වෙනුවෙන් බේස් ගිටාරය වාදනය කරන්න සිද්ධවෙන්නේ මට.

ඉතින් ඔය කාලේ මටත් හිතුනා ගීතයක් දෙකක් ගායනා කරන්න. හැබැයි ඒ ජීවිතේ පොඩි වෙනසකට මිස, ගායකයෙක් විදියට ජනප‍්‍රිය වෙන්න නෙමෙයි. එහෙම ආශාවක් මගේ තුන් හිතකවත් තිබ්බේ නැහැ.

කොහොම හරි මම හේම ශ්‍රී ද අල්විස්ට කියලා ලියවගෙන පද්මසිරි පැස්කුවල්ට කියලා සංගීතවත් කරගත්තු හන්තානේ නිල් කඳුවැටි අතරේ කියන ගීතය ගායනා කළා.

20170119Keerthi-1

ඊට පස්සේ මට ගීත ගායනය ගැන ආශා හිතුණා. ඔය කාලේ කැසට්පටි උණු කැවුම් වගේ විකිණෙන කාලේ. යාළුවෝ මට කිව්වේ කැසට් පටියක් කරන්න කියලා. ඉතින් මම අපේ වාදක කණ්ඩායමේ හැම සංගීත ශිල්පියෙකුටම කිව්වා එක ගීතය බැගින් සංගීත නිර්මාණය කරලා දෙන්න කියලා. ඒ කාලේ අපේ වාදක කණ්ඩායමේ හිටිය ස්ටැන්ලි පීරිස්, මහින්ද බණ්ඩාර, රූකාන්ත ගුණතිලක ඇතුළු හැමෝම මට එක ගීතය බැගින් සංගීතවත් කරලා දුන්නා.

අපේ කණ්ඩායමේ හිටපු ලෝරන්ස් ප‍්‍රනාන්දුටත් මම පද මාලාවක් දුන්නා. හේමසිරි හල්පිට ලියපු ඒ පද මාලාව නීල අහසේ සැදෑවලා කියන පදයෙන් ආරම්භ වන ගීතයක්.

මේ ගීතය ගායනා කළාට පස්සේ අහන අහන කෙනා ඒ ගීතයට කැමති වුණා. ඔන්න ඉතින් 1983 අවුරුද්දේ ස්වාධීන රූපවාහිනියට මධුරසාංග වැඩසටහන නිෂ්පාදනය කළ පී.එල්.ඒ. සෝමපාල ඒ ගීතය අලූතින් පටිගත කළා. 1984 දී ඔය ගීතය මධුරසාංග වැඩසටහනේ හාපුරා කියලා විකාශය කිරීමත් එක්ක මේ ගීතය පුදුම විදියට ජනප‍්‍රිය වුණා. ගීතයක් ඒ තරම් ජනප‍්‍රිය වෙයි කියලා මං හීනයකින්වත් හිතුවේ නෑ. ඊට පස්සේ ගුවන් විදුලියෙන් දවසකට තුන් හතර වතාවක් මේ ගීතය වාදනය වුණා.

කොහොම හරි 1985 දී මගේ පළමු වැනි කැසට්පටය නිකුත් වුණෙත් මේ නීල අහසේ කියන නමින්.

මේ කැසට් පටියත් උණුකැවුම් වගේ අලෙවි වුණා. ඒකට එක හේතුවක් වෙන්න ඇත්තේ මේ කැසට්පටය සමඟ පළමුවෙනි වතාවට ගායකයකුගේ පෝස්ටරයකුත් නිකුත් කිරීම. මේ පෝස්ටරයේ පින්තූරය ගත්තේ සිසිර විජේතුංග.

ඔය වෙනකොට ලංකාවේ පත්තර මහ ගොඩක මගේ ගැන ලිපි පළවෙනවා. පත්තරවල පිටකවර මගේ රුවින් සැරසෙනවා. ලංකාවේ කොතැනක හරි සංගීත ප‍්‍රසංගයක් තිබ්බොත් ඒකේ ගී ගයන්න මටත් ආරාධනා ලැබෙනවා. ඔහොම ගියාම සමහර වෙලාවට මට නීල අහසේ ගීතය දෙපාරක් ගායනා කරන්න සිදුවුණු අවස්ථාත් තිබුණා.

මේ වෙනකොට මට දවසකට ලැබෙන්නේ ලියුම් ගෝනියක්. හුඟාක්ම ගෑනු ළමයින්ගෙන්. මේ අය තමන් එවපු ලියුමකට උත්තර නොලැබුනොත් බොහොම දුක්වෙනවා. ඉතින් මම ලියුමක් ලියලා රෝනියෝ කරලා තියාගෙන මට ලියුම් එවන හැම කෙනෙකුටම යැව්වා.

ඒත් වැඬේ කියන්නේ මේ ළමයි කවුරුවත්ම රෝනියෝ කළ ලියුමකට කැමති නෑ. හැමෝටම  ඕනැ කරලා තිබුණේ මගේ අත්අකුරින්ම ලියපු ලියුමක්. ඒත් මේ වෙනකොට මේ අයට උත්තර ලියන්න මට වෙලාවක් තිබුණේ නෑ.

පස්සෙදී මම මගේ අත්අකුරුවලට සමාන අත්අකුරු තියෙන තරුණයෙක් වැඩට ගත්තා. එයාගේ රස්සාව වුණේ මට එන ලියුම්වලට උත්තර ලියල යවන එක විතරයි.

ඔය කාලෙම කැන්ඩොස් චොකලට් තුනක දවටන එව්වාම කීර්ති පැස්කුවල්ගෙ වර්ණ පෝස්ටරයක් ලබාදෙන තරගයකුත් ආරම්භ වුණා.

ඔහොම ජනප‍්‍රියත්වයේ ඉහළම තලයක හිටිය කීර්ති පැස්කුවල් එක පාරටම ලංකාව හැර යනවා. නවසීලන්තයේ රස්සාවක් කරන්න. එහෙම ගිහින් අවුරුදු විස්සකට පස්සේ ලංකාවට එනවා. ඒ ඇවිත් තවත් අලූත් සිංදුවක් කියනවා. කඳුළ ඉතින් සමාවෙයන් කියලා.

අවුරුදු විස්සක් තිස්සේ කීර්ති පැස්කුවල්ව අමතක වෙලා හිටපු රසිකයෝ රසිකාවියෝ මේ නවතම ගීතයත් ආදරයෙන් වැළඳ ගන්නවා. කීර්ති පැස්කුවල් දෙවෙනි වතාවටත් උපදිනවා. මට වාසනාව ගෙනාපු දෙවැනි ගීතය තමයි ඒ.

ශාන්ත කුමාර විතාන