ජනපතිට කියන්න ලේසි ක්‍ර‍මයක්


රටේ ජනතාවගේ ගැටළු, දුක්ගැනවිලි හා යෝජනා සෘජුවම ජනාධිපතිවරයාට යොමු කළ හැකි ක්‍ර‍මයක් ලබන ජනවාරි 08 දින සිට ක්‍රියාත්මක කරන බව ජනාධිපති ලේකම් කාර්යාලය පවසයි.

‘‘ජනපතිට කියන්න“ යනුවෙන් නම් කැර ඇති මෙම වැඩසටහනේ දී ඕනෑම දුරකථනයකින් ජනාධිපතිවරයාගේ කාර්යාලයේ නියෝජිතයකු හා සෘජුව ම සම්බන්ධ වීමට පහසුකම් සපයා ඇති බවත් ජනාධිපති කාර්යාල ප්‍ර‍කාශකයෙක් කීවේය.

ජනාධිපතිවරයාගේ නිල වෙබ් අඩවි හා නිල සමාජ ජාල ඔස්සේ ද ජනාධිපතිවරයාට සෘජු පණිවිඩ පහසුවෙන් යොමු කිරීමට මේ වැඩසටහන මගින් පහසුකම් සපයා ඇත. තව ද ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයකින් ජනාධිපතිවරයා වෙත සෘජුව ලිපියක් යොමු කිරීමේ කෙටි අංක සහිත තැපැල් පෙට්ටියක් ද ස්ථාපිත කිරීම ද ‘‘ජනපතිට කියන්න“ වැඩසටහනට ඇතුලත් වේ.

ස්මාර්ට් දුරකථන භාවිතා කරන පුද්ගලයකුට තමන්ගේ ගැටළුවක්, යෝජනාවක් හෝ මග තොටේදී දකින් දෙයක් හෝ ගැටළු කාරී තත්ත්වයක්, ලිඛිතව, ඡයාරූප හෝ වීඩියෝ දර්ශන හෝ සමග මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට හැකියාව ඇති ස්මාර්ට් යෙදවුමක් (Mobile App) මෙම වැඩසටහනේ දී හදුන්වාදෙයි.

‘‘ජනපතිට කියන්න“ විශේෂ වැඩසටහන ජනතාවට හදුන්වා දෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධූරයට පත්ව වසරක් පිරීම නිමිත්තෙනි.