ජනපතිගේ ලන්ඩන් ගමනත් චාමෙට


පසුගිය ජනාධිපතිවරණයෙදී ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාටම සහාය දැක්වූ ලන්ඩන් නුවර පදිංචි සිංහල, දෙමළ, මුස්ලිම් සහ අනෙකුත් ශ්‍රී ලාංකික පිරිස් මෛත්‍රීපාල සිරිසේන ජනපතිගේ පැමිණීම පිළිබඳව ඉමහත් උනන්දුවකින් බලා සිටිති.

පොදුරාජ්‍ය මණ්ඩල දිනය වෙනුවෙන් පැවැත්වෙන වැඩසටහනට සහභාගීවීම සඳහා පොදුරාජ්‍ය මණ්ඩලයේ සභාපති ලෙස ඔහු  සෙනසුරාදා (07) ලන්ඩන් බලා යෑමට නියමිතය.

මාර්තු නව වැනි සඳුදා පොදුරාජ්‍ය මණ්ඩල මහලේකම් කමලේෂ් ශර්මා පොදුරාජ්‍ය මණ්ඩල මුලස්ථානය පිහිටි "මාල්බරා" නිවසේදී බ්‍රිතාන්‍ය මහා රැජින, ශ්‍රී ලංකා ජනාධිපති සහ පොදුරාජ්‍ය මණ්ඩල සාමාජික රටවල නියෝජිතයින් වෙනුවෙන් සම්භාෂණයක් පවත්වයි.

එහි තේමාව වන්නේ පොදුරාජ්‍ය මණ්ඩල දිනයයි.

එලිසබෙත් මහා රැජින ශ්‍රී ලංකා ජනාධිපති වරයා ඇතුළු අනෙකුත් නියෝජිතයින් වෙනුවෙන් දිවා භෝජන සංග්‍රහයක් බකිංහැම් මාලිගාවේදී  පවත්වයි.

මෙම සංචාරයේදී ජනාධිපති පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නියෝජිතයින්, බ්‍රිතාන්‍ය රජයේ සහ විරුද්ධ පක්ෂයේ සාමාජිකයින් හමුවී ශ්‍රී ලංකා රජයේ  වැඩකටයුතු පිළිබඳ ඒ සියලුදෙනා දැනුවත් කිරීමටද බලාපොරොත්තු වෙයි.

ජනාධිපති සංචාරය පිළිබඳව ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් විමසා සිටියද කිසිදු තොරතුරක් ලබා ගැනීමට නොහැකි විය.

ජනපති ලන්ඩන් බෞද්ධ විහාරය ඇතුළු ශ්‍රී ලාංකික විහාරස්ථාන වෙත යාමටද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ ශාඛා සමිති සියල්ලම ජනාධිපතිතුමා මුණගැසී නව රජයේ වැඩපිළිවෙළ සම්බන්ධයෙන් අදහස් හුවමාරු කරගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බවද දැනගන්නට ඇත.

ජනාධිපති සමඟ 15 දෙනෙකු වැනි කුඩා කණ්ඩායමක් එන බවද දැනගැනීමට ඇත.  

ලන්ඩනයේ නැවතී ඉන්නා දින කිහිපයේ  ජනපති සුඛෝපභෝගී මෙන්ම මිල අධික තරු හෝටලයක නැවතී ඉන්නවාට වඩා ශ්‍රී ලාංකික හිතවතෙකුගේ හෝ තානාපති නිල නිවාසක නැවතීමට වඩාත් රුචියක් දක්වන බව ජනාධිපති තුමා පවසා ඇතිබවද දැනගැනීමට ඇත.

එමෙන්ම මෙවරත් ජනපති තුමන් සහ කණ්ඩායම ලන්ඩන් නුවරට යන්නේ සාමාන්‍ය මගී සේවා ගුවන් යානයකිනි. එදින ශ්‍රී ලන්කන් ගුවන්සේවයේ ආසන කල්තියා විකිණී ඇත්නම් මුදල් ගෙවා ආසන වෙන්කරවා ගෙන ඇති එම මඟින් බස්සවා ආසන ලබා නොගෙන එදිනට පිටත්වන වෙනත් ගුවන් යානයක ආසන වෙන්කරවා ගන්නා ලෙසද ජනපති උපදෙස් දී ඇතිබවද දැනගන්නට ඇත.

 

Kamalesh_Sharma_Commonwealth Marlborough-House queen-elizabeth-ii