ජනපතිගේ තීරණයට එරෙහිව දඹර අමිල හිමියොත් උසාවි යති


( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )

  
රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය පදවියෙන් ඉවත් කර ඒ සඳහා මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන්  ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට තවත් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.
 
දඹර අමිල හිමියන් විසින් මෙම පෙත්සම ගොනු කර ඇති අතර පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් සහ අමාත්‍ය මණ්ඩල සාමාජිකයන්, නීතිපතිවරයා ඇතුළු 53 දෙනෙකු නම් කර තිබේ.
 
පෙත්සම්කාර දඹර අමිල හිමි සිය පෙත්සමින් පෙන්වා දෙන්නේ ඉකුත් ඔක්තෝබර්  මස 26 වනදා රනිල් වික්‍රමසිංහ  මහතා අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉවත්කර එම තනතුරට මහින්ද රාජපක්ෂ මහතා පත් කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනයේ ප්‍රතිපාදනවලට පටහැනි බවය.
මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ ක්‍රියා කලාපය තුළින් සිය මූලික අයිතීන් කඩ වී ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ඉල්ලා සිටින පෙත්සම්කාර දඹර අමිල හිමි පෙත්සම් විභාගය අවසන් වනතුරු මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයේ කටයුතු කිරීම සහ අමාත්‍ය මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.

(ඡායාරූප- ඉෂාන් සංජීව)