(ඉන්දිකා රාමනායක)
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ පානදුර පිංවත්ත නිවසට අද (30) දහවල් ඇතුළුවීමට තැත් කළ පුද්ගලයෙකු පින්වත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු නිවසේ තාප්පයෙන් පැන වත්තට ඇතුලු වන අයුරු එහි ආරක්ෂක කටයුතු සදහා අනුයක්ත කර පොලිස් නිලධාරියකු දැක ඔහු අල්ලා ගත් අවස්ථාවේ සැකකරු පොලිස් කොස්තාපල්වරයා සමග පොරබදා පලාගොස් ඇත.
මෙම පොලිස් නිලධාරියා විසින් සිද්ධිය පින්වත්ත පොලිසිය වෙත කළ දැනුම් දීමකට අනුව පොලිස් කණ්ඩායමක් පැමිණ අවට සෝදිසි මෙහෙයුමක් සිදුකර පාළු නිවසක සැඟව සිටි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු ගාල්ල ප්‍රදේශයේ පදිංචි (25) හැවිරිදි තරුණයකු බවත්, ඔහු තදින්ම මත්කද්‍රව්‍ය වලට ඇබ්බැහිව සිටින බවද පොලිසිය පවසයි.
මොහු සොරකම් කිරීම සදහා මෙලෙස ඇතුලු වන්නට ඇති බවට පොලිසිය සැකකරයි.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට හෙට (31) ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
පිංවත්ත පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

