ජනපති රැඳී සිටි හෝටලයක විස්තර අන්තර්ජාලයට ප‍්‍රවිෂ්ට වීම ගැන විමර්ශනයක්


(නිමන්ති රණසිංහ)

ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ 73 වන සමුලූව ඇමතීමට විදේශ ගතවූ අවස්ථාවේදී එරට රැදී සිටි හෝටලයේ විස්තර ඇතුලූ සංවේදී සහ අධි ආරක්ෂිත තොරතුරු පෞද්ගලික වෙබ් අඩවියකට මුදා හැර ඇති අතර ඒවා කවර ආකාරයෙන් අන්තර්ජාලයට ප‍්‍රවිෂ්ට  වූවාද යන්න පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (09) කරුණු වාර්තා කර ඇත.

මෙම සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණේ ජනාධිපති ආරක්ෂක දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති රොහාන් සිල්වා මහතා විසිනි.

ඒ අනුව මෙම සිදුවීම මගින් ජනාධිපතිවරයාගේ සහ ජාතික අරක්ෂාවට හා මහජන සාමයට බරපතල තර්ජනයක් සිදුවී ඇති බවට කරුණු අනාවරණය වන බවත් එය 2007 අක 24 දරන පරිගණක පනතේ 06 වන  වගන්තිය යටතේ ගැනෙන වරදක් බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත.

ඒ අනුව මෙම සංවේදී හා අධි ආරක්ෂිත තොරතුරු කවර ආකාරයෙන් අන්තර්ජාලයට ප‍්‍රවිශිෂ්ඨ වුවාදැයි යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරනු ලබන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට කරුනු ඉදිරිපත් කර ඇත.