ජනපති මෛත්‍රීට අතීතය මතක් වෙයි


තමා මේ රටේ ජනාධිපතිවරයා නොව සෞඛ්‍ය අමාත්‍යවරයා යැයි සිතුණු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. පැරැණි මතකය නිසා තමාට එසේ සිහිපත් වූ බවද කොළඹ ගලධාරි හෝටලයේ පැවැති සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ දෙවැනි ජාත්‍යන්තර සමුළුව අමතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. 

සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සැකසූ පළමු රට ශ්‍රී ලංකාව බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, වර්තමානය වනවිට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සංක්‍රමණිකයන් සහ සරණාගතයන් පිළිබඳ ප්‍රශ්නයට ඉතා ඉහළ ප්‍රමුඛත්වයක් දී තිබෙන බවත් පැවසීය. 

“නීත්‍යානුකූලව පැමිණෙන සංචාරකයන් රටකට ආශීර්වාදයක්. ඒත් නීතිවිරෝධීව පැමිණෙන සංක්‍රමණිකයන් නිසා රටකට බරපතළ අර්බුදවලට මුහුණ දීමට සිදුවෙනවා.  

“එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හා ලෝක සෞඛ්‍ය සංවිධානයේ සාමාජික රටවල් ලෙස කටයුතු කරන ශ්‍රී ලංකාව ඇතුළු සාමාජික රටවල් සංක්‍රමණිකයන් පිළිබඳ ජාත්‍යන්තර සංවිධානයේ කටයුතුවලට තම උපරිම දායකත්වය දැක්විය යුතුයි“ යයිද ජනාධිපතිවරයා අවධාරණය කළේය.  
දින තුනක් මුළුල්ලේ පැවැති සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ දෙවැනි ජාත්‍යන්තර සමුළුවේ අවසානයේදී සංක්‍රමණික සෞඛ්‍ය පිළිබඳ කොළඹ ප්‍රකාශනය ඉදිරිපත් කරන ලදි. රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥයන්, විද්වතුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 

DSC_2231 DSC_2248 DSC_2320