ජනපති බංගලා ගන්න පිටරටින් පෝලිමක්



(සුජිත් හේවාජුලිගේ )

ජනාධිපති බංගලා කුලියට ගැනීමට දෙස් විදෙස්  ආයෝජකයන් දස දෙනෙකු   ඉදිරිපත්ව සිටින බව වාර්තාවේ.

යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට කැනඩා ආයෝජකයන් ඇතුළු විදෙස් ආයෝජකයන් පස් දෙනෙකු ඉදිරිපත්ව සිටින බව නාගරික සංවර්ධන ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පැවසීය.

මෙයට අමතරව යාපනයේ ජනාධිපති බංගලාව කුලියට ගැනීමට යාපනය විශ්වවිද්‍යාලය මෙන්ම තාක්ෂණික අධ්‍යාපනික ආයතනයක්ද ඉදිරිපත්ව සිටින බව ඔහු සඳහන් කළේය.

යාපනය විශ්වවිද්‍යාලය පවත්වාගෙන යෑමට සුදුසු පරිසරයක් ඒ  ස්ථානයේ නොමැති බව පෙනී යන්නේ යැයිද  අමාත්‍යවරයා කීය. ජනාධිපති බංගලා සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය වෙනුවෙන් ලබාදීම කෙරෙහි රජයේ වැඩි අවධානය යොමුව ඇත.

ජනාධිපති බංගලා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට කමිටුවක් දැනටමත් පත් කර ඇති බවත් එම කමිටුවේ තීරණ අනුව මාසයක් ඇතුළත ඒ සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත් අනුර කරුණාතිලක මහතා පැවසීය.

ජනාධිපති බංගලා කිසිවක් දැනට ප්‍රතිසංස්කරණය නොකරන බවත් ඉදිරිපත් වන ආයෝජන  අනුව ප්‍රතිසංස්කරණය කරන ආකාරය  තීරණය කරන බවත් ඔහු කීවේය.

ජනාධිපතිවරයාට  දිවයින පුරා වෙන්කර ඇති බංගලා නවයෙන්  කොළඹ සහ මහනුවර බංගලාහැර
  ඉතිරි බංගලා ආර්ථික වශයෙන් ඵලදායී කටයුත්තකට යෙදවීමට ළඟදීම පියවර ගන්නා බව  රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ආචාර්ය චන්දන අබේරත්න  මහතා පැවසීය.

රාජ්‍ය නායකයන් පැමිණෙන අවස්ථාවන්හිදී පිළිගැනීම් සහ හමුවීම් සඳහා කොළඹ ජනාධිපති මන්දිරයද  මහනුවර පෙරහර චාරිත්‍ර ඉටුකිරීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරයද අවශ්‍ය වන  බව රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

ජනාධිපති කාර්යාලයේ පරිපාලන බලධාරීත්වය යටතේ කොළඹ, මහනුවර, නුවරඑළිය, මහියංගනය, අනුරාධපුරය, කතරගම, යාපනය, ඇඹිලිපිටිය සහ බෙන්තොට යන ප්‍රදේශවල ජනාධිපති මන්දිර  යනු ලබන අතර කොළඹ සහ මහනුවර ජනාධිපති මන්දිර හැර අනෙකුත් ජනාධිපති මන්දිර කාලයක සිට භාවිතයට ගෙන  නොමැති බව රජය පවසයි.

යාපනය ජනාධිපති බංගලාවේ තත්ත්වය නිරීක්ෂණය කිරීමට අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඇතුළු කණ්ඩායමක් පසුගියදා එහි ගියේය.