ජනපති දුන් ප්‍රතිඥාව එහෙමම රකිනවා


(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

භාණ්ඩාගාරයේ මුදල් සාංඝික දේපොළ සේ රකින බවට ජනපති දුන් ප්‍රතිඥාවට අනුවම රාජ්‍ය මූල්‍ය විනය ආරක්ෂා කිරීම සඳහා රජය මූලික අවධානය යොමු කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවි බලගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

"මේ මූල්‍ය ප්‍රකාශයේ ඉලක්ක හරියට සඳහන් කර නැතැයි විපක්ෂය කිව්වා. ඉලක්ක තිබෙන නමුත් ඒවා පෙලගස්වා නැතැයි තවත් විපක්ෂයේ මන්ත්‍රී කෙනෙක් කිව්වා.

ඊටත් වඩා හාස්‍යයට ලක් වන කරුණ වන්නේ තවත් මන්ත්‍රීවරයෙක් මේ ප්‍රකාශය ගැන මුකුත් කියන්නේ නැතිව ජනාධිපති පත්කළ කමිටුවක් ගැන කියවීමයි.

විපක්ෂයේ උදවිය නින්දෙන් අවදි වෙලාද කියලා මේ කතා අහගෙන ඉන්න කොට හිතෙනවා. දැන් විපක්ෂය ඉදිරිපත් කරන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල් ප්‍රකාශ.ඔවුන් දශක ගණනාවක් මේ රටේ පාලනයට දායක වී අත් කරදුන් අර්බුදය ගැන අපට ඉතා හොඳ අවබෝධයක් තියෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.