ජනපති ආරක්ෂක දිසාව බාරව නව නි.පොලිස්පතිවරයෙක්


(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

පොලිස්  මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරව සිටි වැඩබලන නියෝජ්‍ය පොලිස්පති උපාලි ජයසිංහ මහතා  වහාම ක්‍රියාත්මක වන පරිදි  ජනාධිපති ආරක්ෂක දිසාව බාරව පත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි.

ජනාධිපති ආරක්ෂක දිසාව  බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා විශ්‍රාම යෑමෙන් ඇතිවූ  පුරප්පාඩුවට උපාලි ජයසිංහ මහතා පත් කරනු ලැබූ බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ වැඩ බැලීම සඳහා අපරාධවිමර්ශන කටයුතු භාර නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතා පත්කර ඇත.

ජාතික පොලිස් කොමිසන් සභාවේ ආවරණ අනුමැතියට යටත්ව හදිසි සේවා අවශ්‍යතා සලකා මැතිවරණ කොමිසන් සභාවේ ලබාගත් අනුමැතිය ඇතිව මෙම  ස්ථානමාරුවීම් ලබා දී ඇති බව ඒ සම්බන්ධයෙන් නිකුත් කළ විශේෂ පොලිස් පණිවිඩයේ සඳහන් කර ඇතැයි පොලිස් මූලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.