(අංජුල මහික වීරරත්න)
මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා එම තනතුරින් ඉවත්කිරීමේ යෝජනාවට පක්ෂව සමඟි ජන බලවේගයේ හා තවත් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක මන්ත්‍රීවරුන් 15 දෙනකු ඡන්දය ප්‍රකාශ කිරීමේ සූදානමක් පවතින බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ වනවිටත් එම මන්ත්‍රීවරුන් ආණ්ඩුවේ ඉහළ පෙලේ නායකයන් සමඟ සාකච්ඡා කර යෝජනාවට පක්ෂව ඡන්දය ප්‍රකාශ කරන බවට සහතික වී ඇති බව රජයේ ආරංචි පවසයි.
මේ අතර හෙට දිනයේදී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වන්නැයි ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, ආණ්ඩු පක්ෂ සංවිධායක කාර්යාලයෙන් ලිඛිතව දැනුම් දී තිබේ.
එවැනි විශේෂ දැනුම් දීමක් කර තිබියදී මන්ත්‍රිවරුන්ට අදාල කාලසීමාව ඇතුලත විදේශගත වීම ද තාවකාලිකව තහනම් වනු ඇත.
එම දැනුම්දීමට අනුව විදේශගතව සිටි රාජ්‍ය අමාත්‍ය සුරේන් රාඝවන් මහතා ඇතුළු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු මේ වනවිටත් දිවයිනට පැමිණ ඇති බවද වාර්තාවේ.
මහජන උපයෝගිතා කොමිසමේ සමාජිකත්වයෙන් එහි සභාපති ජනක රත්නායක මහතා ඉවත් කිරීමට අදාල හෙට (24) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිතව ඇති අතර එදින පස්වරුවේ ඊට අදාල ජන්ද විමසීම පැවැත්වීමට නියමිතව තිබේ.

