ජංගමෙන් අමු කැලෑවක් ගිනි තියයි


රට වටේ සිටින පිරිසක් අද (29) ජංගම හලෝවෙන් අමු කැලෑවක් ගිනි තිබ්බාලු. හරියටම බලාගෙන සිටියා වගේ විස්තර කිව්වාලු. පල්ලෙබැද්දේ සංඛපාල පැත්තේ කන්දකට හෙලිකොප්ටරයක් කඩාගෙන වැටුණු බව ඒ කථාවලින් කිව්වාලු.

කන්ද උඩින් පියාසර කළ යානයක් ගින්න දෙසට පහත් වුණාලු. සංඛපාලය ඇත්තේ කොහේදැයි නොදන්නා පිරිස් ඒ විදියට අමු කැලෑ ගිනි තිබ්බාලු. අද පස්වරු 1 - 2 වනතුරු මේ කටකතාව නිසා ත්‍රී රෝද යතුරු පැදි හා වෙනත් වාහනවලින් ඇඹිලිපිටිය - රත්නපුර පාර පිරී තිබුණාලු.

වාහන තදබදයකුත් තිබුණාලු. මේ කථාවේ ඇත්ත නැත්ත සෙවීමට අපේ ඇඹිලිපිටි කණ්ඩායමක් කන්ද තරණය කළහ. පොලිස් මූලස්ථානය මෙන්ම ගුවන් හමුදා මූලස්ථානයද පළාතේ පොලිසිය මේ කථාවේ ඇත්තක් නැතැයි කීවත් වැඩක් වුණේ නැතිලු. එයින් සිදුවූ එකම දේ ඔවුන්ගේ දුරකතන බිල් ඉහළ යෑමත් කඩකරුවන්ගේත් තෙල් හල් හිමියන්ගේත් හොද්ද බොර වීමලු.

යුද හමුදාව හා පොලිසිය ද කඳුවැටිය තරණය කළේය. ඔවුන් දුටු එකම දෙය අක්කර 10ක පමණ කැලෑවක් ටික ටික පිළිස්සී යන බවයි. හේන් වගාවටත් සතුන් දඩයමටත් අනවසර ගොවීන් හා දඩයක්කරුවන් හැබෑවටම කැලෑ ගිනි තබද්දී ගුවන් අනතුරක පුවතකින් උඩවලව කොළඹගේආර උණුසුම්වී ගියේය.