ඡන්දපොළ රකින්න අලි බළකායක්


උතුරු පළාත හැර දිවයිනේ අනෙක් පළාත් වල පිහිටුවන ඡන්දපොළ මධ්‍යස්ථාන 11,381 ක ආරක්ෂාව සඳහා එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන බළකා නායකයින් 45,524 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් හෙට (6) සිට පූර්ණ කාලීනව ක්‍රියාකාරී මෙහෙයුමේ නිරත කරවීමට එජාපය පියවර ගෙන තිබේ.

උතුරු පළාතේ ඡන්දපොළ මධ්‍යස්ථාන 933 හැරුණු විට නැගෙනහිර පළාතද ඇතුළුව දිවයිනේ අනෙකුත් ඡන්ද මධ්‍යස්ථාන 11,38 ම ආවරණය වන පරිදි හතර දෙනකු බැගින් වූ එජාප සන්නිවේදන බළකා නියාමකයෝ මේ කටයුත්තට අනුයුක්ත කරනු ලැබ සිටිති.

ජනාධිපතිවරණය අවසන්වී ප්‍රතිඵල නිකුත්වන තෙක්ම අද සිට ඉදිරි දිනවලදී ප්‍රදේශයට ඇතුළුවන පිටස්තර පුද්ගලයින් නාදුනන වාහන, කණ්ඩායම් ආදී සියලු වෙනස්වීම් සම්බන්ධයෙන් එජාප සන්නිවේදන බළකා නියෝජිතයන් 45,524 දෙනා පූර්ණ අධීක්ෂණයෙන් පසුවන බව එක්සත් ජාතික පක්ෂ සන්නිවේදන ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් සුදත් චන්ද්‍රසේකර මහතා ප්‍රකාශ කළේය.

ඡන්දපොළ ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු සියලු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් සම්පූර්ණ පුහුණුවක් ලැබ සිටින එජාප සන්නිවේදන බලකා නියාමකයින්ට සිය කාර්යය පහසු කර ගැනීම සඳහා ඡායාරූප ගත හැකි නවීන දුරකථන වීඩියෝ පටිගත කිරීමේ කැමරා සහ ජංගම දුරකථනද නිකුත් කර තිබෙන බව සුදත් චන්ද්‍රසේකර මහතා වැඩිදුරටත් පැවසීය.

ජනතාවගේ නිදහස් ඡන්ද අයිතියට බාධා කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයකු කණ්ඩායමක් හෝ සංවිධානාත්මක පිරිසක් සම්බන්ධයෙන් ඡායාරූප, වීඩියෝ පටිගත කිරීම් සහ රථවාහන අංක සාක්ෂි ඇතිව රැස්කිරීම පිළිබඳවද එජාප සන්නිවේදන නියාමකයින් සුවිශේෂ පුහුණුවක් ලැබ සිටිතැයිද සුදත් චන්ද්‍රසේකර  මහතා කීවේය.

තර්ජනයට ලක්විය හැකි බවට අනුමාන කරන ඡන්දපොළ මධ්‍යස්ථාන හඳුනාගෙන ඒවායේ ආරක්ෂාව සඳහා සන්නිවේදන බලකා නියෝජිතයින් 4 දෙනාට අමතරව තවත් තිදෙනකු බැගින් යොදවා ඇතැයිද එජාප සන්නිවේදන බලකා අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මහනුවර දිස්ත්‍රික්කයේ පාතදුම්බර මැතිවරණ කොට්ඨාශයේ ඡන්දපොළ මධ්‍යස්ථාන ආරක්ෂා කරගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයෙන් වෙනමම යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කෙරෙන අතර එජාප මැතිවරණ කොට්ඨාශ කළමනාකරු පූර්ණ චන්දන සිල්වා ජනාධිපතිවරණ බලයලත් නියෝජිත හරීන්ද්‍රනාත් දුනුවිල සහ හිටපු පළාත් සභා මන්ත්‍රී   රත්නායක යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ ඉහත යාන්ත්‍රණය ක්‍රියාත්මකවේ.