ඡන්ද මැරයෝ 30ක් සැකපිට


ගල්නෑවේ එක්සත් ජාතික පක්ෂ රැලියේ පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රාදේශීය සභා සභාපතිවරයකු හා තවත් පුද්ගලයකු අත් අඩංගුවට ගැනීමට සොයන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.

මේ අතර ගල්නෑව ප්‍රාදේශීය සභාපති පැවසුවේ තමා මේ සිද්ධියට සම්බන්ධ නැති බවයි.

‘‘මම ඒ ගැන දන්නෙත් නෑ. මගේ සම්බන්ධයකුත් නෑ“ යැයි ඔහු පවසයි.

වඳුරඹ එක්සත් ජාතික පක්ෂ රැලියට අද උදේ 6 වන තෙක් පොලිස් ආරක්ෂාව දී තිබූ බවත් ප්‍රහාරය එල්ලවී ඇත්තේ පොලිසිය එතැනින් නික්ම ගොස් මිනිත්තු 5 කින් බවත් පොලිසිය කියයි.

පොලිස් ආරක්ෂාව එසේ ඉවත් කළේ ඇයි දැයි පොලිස් ස්ථානාධිපතිගෙන් කරුණු විමසා ඇති බවත් ඔහු කියයි.

සිද්ධිය ඇසින් දුටුවන් පවසනුයේ රජයේ ප්‍රබල දේශපාලනඥයකු මීට හවුල් බවයි. සැකකරුවන් අත් අඩංගුවට ගැනීමට කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.

ජනපතිවරණයේදී ඡන්දපොළකට ටී 56 අවිගත් කොස්තාපල්වරුන් දෙදෙනා බැගින් යොදවන බවද එක ළඟ පිහිටි ඡන්දපොළවල් 4කට සන්නද්ධ මුර සේවයක් යොදවන බවද මාධ්‍ය ප්‍රකාශක පවසයි.

නාම යෝජනා බාරදුන් දිනයේ සිට ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් 30 දෙනකු අත් අඩංගුවට ගෙන ඇති බවද ඔහු කියයි.