ඡන්ද පොළ මාරු කළැයි ගැමියෝ විරෝධය පාති


ආණමඩුව පහළගම ප්‍රජාශාලාවේ වසර 27ක් තිස්සේ පැවැති ඡන්ද මධ්‍යස්ථානය කිලෝ මීටර් දෙකක් ඈතින් පිහිටි තත්තෑව ප්‍රජාශාලාවට රැගෙන ගියේයැයි කියමින් පහළගම සහ කරබෑලන්ද ඡන්ද දායකයෝ 600ක් පමණ සිය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියේය.

පහළගම සහ කරබෑලන්දේ 1300 පමණ ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබ සිටියහ. නමුත් අද ඡන්ද ප්‍රකාශ කළේ 540 දෙනකු පමණක් බව කරබෑලන්ද ඡන්ද මධ්‍යස්තානයේ ප්‍රකාශකයෙක් කීය.

පහළගම ප්‍රජාශාලාව අසලට ආ එම පිරිස ඡන්ද පත්‍රිකා ඉරා දමමින් සිය විරෝධය දැක් වූහ.

ඡන්ද නාමලේඛනය ගැසට් කරද්දි පැරණි මධ්‍යස්ථානය අලුත්වැඩියා කරමින් තිබූ නිසා නව මධ්‍යස්ථානය තෝරාගත් බව පුත්තලම තේරීම් බාර නිලධාරී ක්‍රිංස්ලි ප්‍රනාන්දු මහතා කියයි.

රුපියල් ලක්ෂ 47ක් වැයකර ප්‍රජාශාලාව අලුත්වැඩියා කර තිබියදී මෙම ඡන්ද මධ්‍යස්ථානය තෝරා නොගත්තේ ඇයි දැයි ගැමියෝ අසති.