(සුජිත් හේවාජුලිගේ )
මහ භාණ්ඩාගාරයෙන් මුදල් ලැබෙන පාටක් පෙනෙන්නට නැති හෙයින් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට අත තැබිය නොහැකි බව රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානී කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට ඊයේ (15) ලිපියකින් දැනුම් දුන්නාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා මුදල් ලබා දෙන්නේ දැයි කළ විමසුම්වලට මහ භාණ්ඩාගාරයෙන් කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැතැයිද ඇය සඳහන් කළාය.
මුදල් ලැබුණහොත් ඡන්ද පත්‍රිකා දින හතරත් පහත් අතර කාලයකදීද සෙසු මුද්‍රණ දින 30ක කාලයකදීද මුද්‍රණය කර දිය හැකි බව පැවසූ ලියනගේ මහත්මිය මැතිවරණය සඳහා වෙන් කෙරුණු ප්‍රතිපාදන වෙනුවෙන්වත් මහා භාණ්ඩාගාරයෙන් මුදල් ලැබී නැතැයි ප්‍රකාශ කළාය.
ඡන්ද පත්‍රිකා මුද්‍රණය සඳහා දැනට ලැබී ඇත්තේ කෝටි හතරක් පමණක් බවත් ඡන්ද පත්‍රිකා මුද්‍රණයට ආරක්ෂාව සැපයීම සඳහා ඒවා මුද්‍රණය කරන අවස්ථාවේදී දැනුම් දෙන ලෙස පොලිස් ප්‍රධානීන් ප්‍රකාශ කර ඇති බවත්
රජයේ මුද්‍රණාලාධිපතිනිය පැවසුවාය.
මුදල් හෙට ලැබුණොත් හෙට සිටම ඡන්ද පත්‍රිකා මුද්‍රණයට පියවර ගන්නා බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.

