ඌවේ ඡන්ද ප්‍රචාරය අවසන් වන බදාදා (17) විට මොණරාගලින් පැමිණි 305ක් ද, බදුල්ලෙන් 100ක් ද ඇතුළුව පැමිණිලි 424ක් ලැබුණු බව කැෆේ සංවිධානයේ අධ්‍යක්ෂ කීර්ති තෙන්නකෝන් මහතා කියයි.
පොදු දේපොළ අයථා පරිහරණය, ශබ්ද විකාශන යන්ත්‍ර භාවිතය, ලංගම බස් ප්‍රචාරයට යොදා ගැනීම, භාණ්ඩ බෙදීම, ව්‍යාජ අංක තහඩු සවි කළ වාහන ධාවනය බෙහෙවින් සිදුවූ බව එම සංවිධානය පවසයි.
බණ්ඩාරවෙල දී සෙන්දිල් තොන්ඩමන් මහතාත් තුවාල ලැබූ සිද්ධියේ රථ පෙළපාළියට ගරාජ් අංක තහඩු සහිත වාහනයක් තිබූ බවත්, මොණරාගල දඹගල්ලේ ප්‍රාදේශීය සභා පුස්තකාලයක් වසා එහි ඡන්ද රැස්වීමක් පැවැත්වූ බවත් එම සංවිධානය කියයි.
මේ අතර බදුල්ලේ බදුලු පිටියේ දී සංගීත සංදර්ශනයකින් පසු පිරිසක් පාසලකට, ලෑලි කඩ කිහිපයකට හා තවත් ස්ථානයකට අලාභ හානි කළැයි පොලිසියට පැමිණිලි කර ඇත. සැකකරුවකු පොලිසියට ගෙන ආ බව පොලිස් ආරංචි කියයි.
සන්ධානයේ පොස්ටරයක් පාසල් බසයක ඇලවීමට එරෙහි වූ අයකුට පිහියෙන් ඇන ඇතැයි ද, සරත් ෆොන්සේකාගේ පක්ෂයේ රැළියකට සහභාගී වූ පිරිසකට දියතලාවේ දී තර්ජනය කර ඇතැයි ද මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
ලංගම බස් හැටකට වැඩි ප්‍රමාණයක් මොණරාගල ඡන්ද කටයුතු සඳහා යොදා ගෙන ඇතැයි ද, මොණරාගල හා බිබිලේ එක්තරා පදනමක් සෙත්පැතීමේ බෝධි පූජා සංවිධානය කර ඇතැයි ද, හම්බෙගමුව පංසලක බෝධිපූජාවක් පැවැත්වූ හිමි නමක් සංධාන අපේක්ෂකයකුගේ නම හා මනාප අංකය කියා ඡන්දය දෙන ලෙස කියා ඇතැයි ද මැතිරණ නිරීක්ෂණ ජාලයේ ප්‍රධාන විධායක ආචාර්ය උදිත ගුණසේකර කියයි.
ඔහු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතාට පැමිණිලි කරමින් කියනුයේ ඡන්ද ප්‍රචාරක කටයුතු බදාදා (17) මැදියම් රැයෙන් අවසන් වුවත් බිබිලේ මැදගම සේනාපතියේ හා නන්නපුරාවේ ඡන්ද රැස්වීම් පැවැත්වීමට සූදානම් කර තිබු බවයි.


