ඡන්ද නැත්නම් කොමිසමක් මොකටද?


(ඩයනා උදයංගනී)

පළාත් පාලන මැතිවරණය නිසි පරිදි පැවැත්වීමට නොහැකි නම් මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඉල්ලා අස්විය යුතු බව නිදහස් ජනතා සන්ධානය නියෝජනය කරන, නිදහස ජනතා සභාවේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

මැතිවරණ කොමිසමේ වගකීම ආණ්ඩුවේ චක්‍රලේඛවලට අනුව ඡන්දය මගහැරීම හෝ දින නියම කිරීම නොව ජනතාවගේ ඡන්ද අයිතිය ආරක්‍ෂා කිරීම බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රටේ මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා භාණ්ඩාගාරයේ මුදල් වෙන් කළ යුතු ආකාරය ගැන නිකුත් කර ඇති චක්‍රලේඛය මගින් නීතිය විකෘති කර ඇති අතර, ඔහු නීතිය සමඟ සෙල්ලම් කරන බව ද අලහප්පෙරුම මහතා කීවේය.

ඩලස් අලහප්පෙරුම මහතා මේ බව පැවසුවේ නිදහස් ජනතා සන්ධාන මාතර දිස්ත්‍රික් අපේක්‍ෂක වැඩමුලුව අමතමිනි.

මැතිවරණය කල්දැමීමට ආණ්ඩුව දක්වන උත්සාහය, මුලු මහත් ලෝකයටම ආණ්ඩුවේ නිරුවත පෙන්වීමක් බව සදහන් කල ඩලස් අලහප්පෙරුම මහතා, මීට පෙර ද අවස්ථා ගනණක දී මැතිවරණාය කල්දැමීම නිසා ඇති වූ භයානක තත්වයන් පිලිබදව ද පෙන්වා දුන්නේ ය.