ඡන්ද කාලේ නිමල් ‘ඇනිමල්‘ වෙලා


අගමැති හෝ ජනාධිපති සිහිනයක් තිබුණත් පක්ෂ නායකයන්ගේ අඩු පාඩු තිබුණත්  ඒවා විඳ දරාගෙන සිටි බවත් රජකම ලැබුණත් පක්ෂය දමා නොයන බවත් විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා ස්වාධීන රූපවාහිනියේ සත්‍යාගාරය වැඩසටහනට එක්වෙමින් කීවේය.

පක්ෂය වෙනුවෙන් කැපවීමෙන් වැඩකරන බවත් පරිසරයට ආදරය කළත් පවතින දේශපාලන වාතාවරණය යටතේ ප්‍රචාරණ කටයුතු සිදු කිරීමට ගස් ගල්වල පවා පෝස්ටර් ඇලවීමට සිදුවන බවත් ඒ මහතා පැවසීය. එහිදී වැඩසටහන මෙහෙයවූ උපුල් ශාන්ත සන්නස්ගල මහතා කීවේ නිමල් යනුවෙන් සඳහන් කර පසුගිය කාලයේ ගැසූ පෝස්ටර්වල කොලු කුරුට්ටන් විහිළුවට මුලට ‘ඇ‘ යන්න ඇතුළත් කර තිබූ බවයි.

ජාතික ආණ්ඩුවක් හෝ හවුල් ආණ්ඩුවක් හෝ පින් අගමැතිවරයකු සිටියදී හෝ මනාප ක්‍රමය සහ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ යුතුය යන ස්ථාවරයේ තමා සිටින බවද ඒ මහතා එහිදී ඇසූ පැනයකට පිළිතුරු දෙමින් කීවේය.

මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා ජනපතිවරණ සමයේ සිරිසේන නමැති අයකු සමග බාල වර්ගයේ ප්‍රචාරණය කටයුතු කළේ ඇයිද සහ ඡන්ද දිනයේ එම සිරිසේන නමැති වෙනත් පුද්ගලයකු සමග පැමිණ ඡන්දය දැමීම වැනි ක්‍රියා සිදුකිරීම අනුමත කරනවාදැයි සන්නස්ගල මහතා විමසූ විට තමා එවැනි දෙයක් දැක්කේවත් ඒ ගැන දන්නේවත් නැති බවද නිමල් සිරිපාල ද සිල්වා මහතා කීවේය.

වීඩියෝ අනුග්‍රහය - ස්වාධීන රූපවාහිනිය