‘මේ බිමේ රතු ධජය එසවිය යුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව සමගියෙන් ඉන්න රටක් බවට පත් කළ යුතුයි. දරුවන්ට නිදහසේ අධ්‍යාපනය ලැබෙන වටපිටාවක් නිර්මාණය කළ යුතියි. රට ගොඩනැගීම වෙනුවෙන් සියලු දෙනා නිදහසේ වැඩ කරන, වැඩිහිටියන්ට ගරු කරන සමාජයක් තිබෙන, අසාධාරණය, අයුක්තිය, සූරාකෑම වෙනුවට යුක්තිය, සාධාරණය ඇතිවන සියලු දෙනා සිනාසෙන රටක් හදන්න ඕනෑ. එවැනි රටක් නිර්මාණය කළ යුත්තේ ධනවාදය පරාජය කිරීමෙන් පමණයි.‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පැවසීය.
චේ ගුවේරා ලංකාවට පැමිණ හොරණ යහල කැලේ වතුයායේ රෝපනය කළ බව කියන මහෝගනී අසල දී චේගුවේරා දිනය වෙනුවෙන් පැවැති උත්සවයක දී සිල්වා මහතා එසේ කීවේය.
අර්නස්ටෝ චේ ගුවේරා යහල කැලේ රබර් වත්තේ මහෝගනී පැලය රෝපනය කළේ 1959 අගෝස්තු හත් වැනි දා ය. ජේ සී ඩී පීරිස් මහතාට අයත් යහල කැළේ වත්තට චේ පැමිණි බව සේවක ඩිංගිරි මහත්තයා පසුව විස්තර කළේය.
යහල කැලේ ඉදි කළ චේ ගුවේරා උද්‍යානය ශ්‍රී ලංකාවේ කීයුබා තානාපතිනි ඉන්දිරා ලෝපෙස් මහත්මිය විවෘත කළාය.
‘චේ ප්‍රසිද්ධ වෙන්න උත්සාහ දරපු කෙනෙක් නෙමෙයි. ඒ වගේම තමන්ට යම් දෙයක් බලාපොරොත්තුවෙන් වැඩ කරපු කෙනෙක් නෙවෙයි. ඔහු තුළ තිබූ දැනුම, ඔහුගේ අපරිමිත කැපවීම, මානව දයාව වැනි ගුණාංග නිසා අපි චේට ආදරය කරනවා. ඔහු සැබෑ වීරයෙක්. චිත්‍රපටිවල රූපවාහිනී තිරයේ ඉන්න වීරයෝ වගේ නෙවෙයි. සමහර නායකයෝ ඩිජිටල් පුවරු මත වීරයෙක් වෙන්න උත්සාහ දරනවා. ඒවගේ කාඩ්බෝඩ් වීරයන්ට චේට ළං වෙන්න පුළුවන් කමක් නැහැ. චේ ජීවත් වෙන්නේ ඩිජිටල් පුවරු මත නොව මිනිසුන්ගේ හදවත් තුළයි. ‘







