චෙස් - බැඞ්මින්ටන් තරගාවලි ගැටීමෙන් පාසල් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසක් අමාරුවේ


සමස්ත ලංකා අන්තර් පාසල් වයස 16 න් පහළ චෙස් තරගාවලිය සහ වයස 15 න් පහළ යුගළ බැඞ්මින්ටන් තරගාවලිය එකම දිනවල පැවැත්වීමෙන් එම ක‍්‍රීඩා දෙකටම සහභාගි වන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට දැඩි අසාධාරණයක් සිදු වන බවට පාසල් නිලධාරීහු චෝදනා කරති.
 පාසල් වයස 16 න් පහළ චෙස් තරගාවලිය මේ මස 31, ලබන මස 1 සහ 2 යන තෙදින කොළඹ ආනන්ද විදුහලේදී ද, වයස 15 න් පහළ යුගළ බැඞ්මින්ටන් තරගාවලිය මේ මස 30, 31 සහ ලබන මස 1 සහ 2 වැනිදා කුරුණෑගලදී ද, පැවැත්වෙන බව මේ වන විට පාසල්වලට දැනුම්දී තිබේ.

මෙම තරගාවලි දෙක එකිනෙක ගැටීම හේතුවෙන් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් රැසකට තරගාවලි දෙකටම සහභාගි වීමේ අවස්ථාව අහිමි වන තත්ත්වයක් උද්ගතවී ඇති බව වාර්තා වේ. මෙම තත්ත්වය පිළිබඳව දෙමාපියන් විසින් අධ්‍යාපන අමාත්‍යංශයේ පාසල් ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ බී. ඒ. අබේරත්න මහතාට මේ වන විටත් පැමිණිලි කරනු ලැබ ඇති බව වාර්තා වේ.

මෙවැනි තත්ත්වයක් 2009 වසරේ උද්ගත වූ අවස්ථාවේදී කොළඹ ප‍්‍රධාන පාසලක ක‍්‍රීඩකයකුගේ පියා මානව හිමිකම් කොමිසමට පැමිණි කළ අතර එහිදී එම කොමිසම නිරීක්‍ෂණ වාර්තාවෙන් හිටපු ක‍්‍රීඩා අධ්‍යක්‍ෂවරයට දන්වා තිබුණේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අගතියක් නොවන පරිදි තරගාවලිය සංවිධානය කිරීමට ආදාල පාර්ශ්ව වලට උපදෙස් දෙන ලෙසය.

මේ වසරේ බැඞ්මින්ටන් සහ චෙස් තරගාවලි වෙන වෙනම පවත්වන බවට හිටපු ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ රෝහණ කරුණාරත්න මහතා 2012 වසරේ 9 වැනි මස දන්වා තිබූ බවද දැනගන්නට ඇත.

මේ පිළිබඳව ‘ලංකාදීප’යට අදහස් දැක්වූ ඉසව් දෙකටම සහභාගි වන ක‍්‍රීඩකයකුගේ පියා පැවසුවේ තම දරුවන් කැපවීමෙන් පුහුණුවීම් කළද තරගාවලියකට සහභාගිවීමට නොහැකි වීම දැඩි අසාධාරණයක් බවයි.

මෙම තත්ත්වය පිළිබඳව විමසීමට පාසල් චෙස් සංගමයේ ලේකම් නිර්මලා ඊරියගම මහත්මිය සහ පාසල් බැඞ්මින්ටන් සංගමයේ ලේකම් සමන් විජේසිංහ යන මහත්වරුන් සම්බන්ධකර ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක විය.