චෙන්නායිහි පැවැත්වීමට නියමිත තීරණාත්මක තරග දෙකක් දිල්ලියට


ඉන්දීය ප‍්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීමේ තරග දෙකක් දිල්ලි නුවරදී පැවැත්වීමට තීරණය කර තිබේ. මෙම තරග දෙක මැයි මස 21 සහ 22 චෙන්නාහිදී පැවැත්වීමට නියමිත තිබිණ.

තමිල්නාඩු ප‍්‍රාන්ත දේශපාලඥයන්ගේ විරෝධතා හේතුවෙන් චෙන්නායිහිදී පැවැත්වෙන තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට සහභාගි වීමේ අවස්ථාව නොලැබීම පිළිබඳව අවධානය යොමු කරමින් අයි. පී. එල්. සංවිධායකයෝ මෙම තීරණය ගෙන තිබේ.

ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතර තරගය මැයි මස 21 වැනිදා පැවැත්වෙන අතර එම තරගයෙන් ජයග‍්‍රහණය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ලීග් තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගය මැයි මස 22 වැනිදා පැවැත්වීමට නියමිතය.

තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ පළමු සහ දෙවැනි ස්ථාන අතර තරගයෙන් පරාජයට පත්වූ කණ්ඩායම අතර මැයි මස 24 වැනිදා කොල්කටාහිදී පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

අයි. පී. එල්. සංවිධායකයන් සහ තමිල්නාඩු ප‍්‍රාන්ත රජය අතර මේ මස 22 වැනිදා පැවැති සාකච්ඡවකින් පසුව මෙම තීරණයට එළඹ ඇති බව වාර්තා වේ.

මෙම විරෝධතා හේතුවෙන් මේ දක්වා චෙන්නායිහිදී පැවැති තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන් සහභාගි නොවූ අතර චෙන්නායි පිල නියෝජනය කිරීමට නියමිතව සිටි නුවන් කුලසේකර සහ අකිල ධනංජය මේ දක්වා චෙන්නායි පිලට එකතු නොවූහ.
 

(●●)