චෙන්නායි පිල කඩුලූ 5 කින් රාජස්තාන් රෝයල්ස් පරදවයි


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 30 වැනි තරගය ලෙස චෙන්නායිහිදී අද (22 වැනිදා) පැවැති තරගයේදී චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 5 කින් රාජස්තාන් රෝයල්ස් පිල පරාජය කිරීමට සමත් විය.

මෙම ජයග‍්‍රහණයත් සමග චෙන්නායි පිල තරග 7 න් පහක ජය ලබා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.

චෙන්නායි සුපර් කිංග්ස් පිල ලකුණු 186 ක ජයග‍්‍රාහි ඉලක්කය  ඕවර 19.5 කදී කඩුලූ 5 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.  ඕස්ටේ‍්‍රලියානු හිටපු ප‍්‍රවේගකාරි පිතිකරු මයික් හසී පන්දු 51 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 88 ක් රැස්කළේය.

පළමුව පන්දුවට පහර දුන් රාජස්තාන් පිල වෙනුවෙන් ෂේන් වොට්සන් ප‍්‍රවේගකාරි ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 61 කදී හතරේ සහ හයේ පහර 6 බැගින් ඇතුළත් කරමින් ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය. මෙම ශතකය මෙවර අයි. පී. එල්. තරගාවලියේ පළමු ශතකය ද වේ.

විරෝධතා හේතුවෙන් චෙන්නායිහිදී පැවැත්වෙන තරගවලට ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ක‍්‍රීඩා නොකරති.

රාජස්තාන් රෝයල්ස් පිල  ඕවර 20 කදී කඩුලූ 4 ට 185 (ෂේන් වොට්සන් 101, ස්ටුවට් බෙනි නොදැවී 36, රවිචන්ද්‍රකුමාර් අෂ්වින් 20/2, ඞ්වේන් බ‍්‍රාවෝ 36/2)

චෙන්නායි සුපර් කිංග්ස් පිල  ඕවර 19.5 කදී කඩුලූ 5 ට 186 (මයික් හසී 88, සුරේෂ් රයිනා 51, මහේන්ද්‍ර සිං දෝනි 21, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 15, ජේම්ස් ෆෝක්නර් 20/3)