චෙන්නායි ගංවතුරට අසුවූ ලාංකිකයෝ අඟහරුවාදා එති


දඹදිව වන්දනා සඳහා පැමිණ සිටිටදී ගංවතුර හේතුවෙන්  චෙන්නායි නුවර දක්වා දුම්රියෙන් යෑමට නොහැකිව නවදිල්ලියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 310  දෙනකු අඟහරුවාදා (8) නැවත එවීමට කටයුතු කරන බව ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඇසල වීරකෝන් මහතා පැවසීය.

ගංවතුර තර්ජන නිසා චෙන්නායි නුවර සිර වී සිටින ශ්‍රී ලාංකිකයන් 35 දෙනකුද ඉදිරියේදී මෙරටට එවීමට පියවර ගන්නා බවද ඔහු කීය. ගංවතුර නිසා චෙන්නායි නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් 120 දෙනෙකු ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත්  විශේෂ ගුවන් යානයකින් පසුගියදා දිවයිනට පැමිණියේය.

වසර සියයකට පසු තමිල්නාඩුවට ඇතිවු විශාලතම ජල ගැල්මෙන් යට වී තිබූ චෙන්නායි ගුවන් තොටුපළ වාණිජ ගුවන් ගමන් සඳහා මේ වනවිට විවෘත ඇති අතර ඇණහිට තිබූ දුම්රිය සේවාවන්ද අද (07)  පස්වරුවේ සිට යළි ආරම්භ කරනු ඇතැයි වීරකෝන් මහතා සඳහන් කළේය.

මේ අතර චෙන්නායි නුවර රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු මියගොස් ඇති බවත් ඔවුන් මියගොස් ඇත්තේ ගංවතුරට හසුවීමෙන් නොව හදිසි අසනීප තත්ත්වයන් හේතුවෙන් බවත් චෙන්නායි හි ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් වඩුවේල් ක්‍රිෂ්ණමූර්ති මහතා පැවසීය.

ඔවුන්ගේ දේහයන් ද කඩිනමින් ශ්‍රී ලංකාවට එවීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළේය.