චෙන්නායි - මුම්බායි - රාජස්ථාන් අවසන් සිවුදෙනා අතරට පැමිණෙති


ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 64 වැනි තරගය අවසන් වන විට චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩයම් අවසන් වටයේ කණ්ඩායම් හතරට සුදුසුකම් ලැබීමට සමත්ව සිටියහ.

චෙන්නායි පිල මේ වන විට තරග 15 කට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 22 ක් ලබා ලකුණු සටහනේ පෙරමුණේ පසු වෙයි. මුම්බායි පිල සහ රාජස්ථාන් පිල තරග 14 කට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 20 බැගින් ලබා ශූද්ධ ලකුණු වේගය අනුව දෙවැනි සහ තෙවැනි ස්ථානවල පසු වෙති.

රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිල තරග 15 කදී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා සිවුවැනි ස්ථානයේ පසු වන අතර සන්රයිසස් හයිද්‍රාබාද් පිල තරග 14 කදී ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා ශූද්ධ ලකුණු වේගය අනුව පස්වැනි ස්ථානයේ රැදී සිටියි.

බැංගලෝර් පිල අවසන් සිවුදෙනා අතරට පැමිණීමට නම් චෙන්නායි පිලට එරෙහිව මේ මස 18 වැනිදා පැවැත්වෙන තරගය ජය ලැබීම අනිවාර්ය වීමේ තත්ත්වයකට පත්ව තිබේ. ඉතිරිව තිබෙන තරග දෙකම ජය ලැබුහොත් අවසන් සිවුදෙනා අතරට පැමිනීමේ අවස්ථාව හයිද්‍රාබාද් පිල සතුවෙයි.

ලීග් තරගාවලියේ ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු සහ දෙවැනි ස්ථානවලට පත්වන කණ්ඩායම් දෙක අතර තරගය මැයි මස 21 වැනිදා පැවැත්වෙන අතර එම තරගයෙන් ජයග‍්‍රහණය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. ලීග් තරගාවලියේ තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගය මැයි මස 22 වැනිදා පැවැත්වීමට නියමිතය.

තෙවැනි සහ සිවුවැනි ස්ථාන අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ පළමු සහ දෙවැනි ස්ථාන අතර තරගයෙන් පරාජයට පත්වූ කණ්ඩායම අතර මැයි මස 24 වැනිදා කොල්කටාහිදී තරගයක් පැවැත්වෙයි. එම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.

තරග 76 කින් යුත් මෙවර තරගාවලියේ අවසන් මහ තරගය මේ මස 26 වැනිදා කොල්කටාහිදී පැවැත්වේ.

(●●)