චුන්නාකම් බලාගාරයේ වැඩ අත්හිටුවයි : ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අතුරු තහනමක්


පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් ආචාර්ය රවීන්ද්‍ර කාරයවසම් මහතා ගොනු කළ  පෙත්සමක් අද සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම් විභාගය අවසන් වන තුරු  යාපනය චුන්නාකම් උතුරු ජනනී විදුලි බලාගාරයේ වැඩ කටයුතු අත් හිටුවමින්   තාවකාලික අතුරු නියෝගයක් නිකුත් කළේය.

එම විදුලි බලාගාරය හේතුවෙන් යාපනයේ චුන්නාකම් ප්‍රදේශයේ ළිං වලට තෙල් සහ ග්‍රීස් එක් වීමෙන්  ජලය අපවිත්‍ර වී ජීවිතයට බාධා එල්ල වීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි කියමින් පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය ගොනු කර තිබූ පෙත්සම අද   අගවිනිසුරු කේ ශ්‍රී පවන්, බුවනෙක අලුවිහාරේ සහ ප්‍රියන්ත ජයවර්ධන යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් හමුවේ කැඳැවිණි.

මෙම පෙත්සම ජනවාරි 30 වැනි දා විභාගයට ගැනීමට ද තීන්දු විය.

පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් රවින්ද්‍ර කාරියවසම් මහතා ගොනු කර තිබූ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරි ය, විදුලිබල මණ්ඩලය , උතුරු පළාත් මහ ඇමති , යාපනය චුන්නාකම් විදුලි බලාගාර සමාගම ,අයෝජන මණ්ඩලය , වලිකාමම් ප්‍රදේශීය සභාවේ සභාපති සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.

2010 වසරේ යාපනය චුන්නාකම් ප්‍රදේශයේ අරඹා ඇති යාපනය චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩ කටයුතු නිසා 2012 වසර වන විට එම ප්‍රදේශයේ ළිං ඇතුළු ජල මූලාශ්‍රවලට තෙල් සහ ග්‍රීස් එකතුවීමෙන් ජලය අපවිත්‍ර වී ඇති බව ද ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා සිය පෙත්සමින් පෙන්වා දෙයි.

මෙම බලාගාරයේ එකතු වන අපවිත්‍රතා හේතුවෙන් ප්‍රදේශයේ ළිං 120ක පවතින ජල සම්පත් වල සියයට 73 ක ප්‍රමාණයෙන් තෙල් හා ග්‍රීස් අඩංගුව පවතින බවද පෙත්සම්කරු කියා සිටී. එසේම මෙම විදුලි බලාගරයෙන් යාපනය අර්ධද්වීපයේ භූගත ජල සම්පත් වලට විශාල වශයෙන් දැවි තෙල් බැහැර වන බවද පෙත්සමකරු කියා සිටී.

මෙම තත්ත්වය උඩ ජල සම්පාදන මණ්ඩල විසින් එම ප්‍රදේශය ජල සැපයුම් සිදු කිරීමද සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති අතර ඒ ගැන එම ප්‍රදේශයේ සිටින ප්‍රධාන වෛද්‍ය නිලධාරී කාර්යාලය සහ ජල සම්පාදන මණ්ඩලය වාර්තා මඟින් අවස්ථා කිහිපයකදීම වගඋත්තරකාර බලධාරීන්ට පෙන්වා දී ඇති බව පෙත්සමේ සඳහන් වේ.

මෙම විදුලි බලාගාරය නිසා ජලය අපවිත්‍රවීමෙන් යාපනය අර්ධද්වීපයට දැවැන්ත පරිසර හානියක් සිදු ව ඇති බැවින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගන්නා ලෙසත් ,චුන්නාකම් විදුලි බලාගාරයේ වැඩ කටයුතු වහාම නවත්වන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

එසේම මෙම භූගත ජල දූෂණය වීම නිසා පීඩාවට පත්වූවන්ට වගඋත්තරකාර පාර්ශවයන් ගෙන්  වන්දි ලබා දෙන ලෙද පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටී.

පෙත්සම්කාර පරිසර හා සොබා දහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ  ආචාර්ය රවින්ද්‍ර කාරියවසම් මහතා වෙනුවෙන් නීතීඥ නුවන් බෝපගේ මහතා නොමිලේ පෙනී සිටියේය.

නීතිපතිවරයා වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ සුරේන් ඥානරාජ් ,උතුරු ජනනි විදුලි සමාගම වෙනුවෙන් ජනාධිපති නීතීඥ නිහාල් ප්‍රනාන්දු ,ආයෝජන මණ්ඩලය වෙනුවෙන් ජනාධිපති නීතීඥ රොහාන් සහබන්දු යන මහත්වරු  පෙනී සිටියහ.