චීනාගේ ලක්ෂ හැත්තෑ දෙක රාජසන්තකයි


රුපියල් හැත්තෑ දෙලක්ෂයක් වටිනා ඇමරිකානු ඩොලර් හැට දහසක් රැගෙන බැංකොක් බලා යාමට කටුනායකට පැමිණි චීන ජාතික සංචාරකයෙකුට තරයේ අවවාද කළ රේගුව එම මුදල් සියල්ල රාජසන්තක කළේය. මොහු මීට දින දෙකකට පෙර දිවයිනට පැමිණ ඇති බවත් නැවත අද අළුයම ශ‍්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යූ.එල් 886 දරණ ගුවන්යානයෙන් බැංකොක් බලා යාමට කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටියදී ගුවන්තොටුපොළ ආරක්ෂක අංශ විසින් අල්ලා රේගුවට බාර දුන් බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය. ඔහුගේ සාක්කුවල සහ ගමන් මල්ලේ මෙම මුදල් තිබූ බව රේගුව කියයි. රේගු නිලධාරීන්ගේ ප‍්‍රශ්ණ කිරීම් හමුවේ මොහු පවසා ඇත්තේ මෙම මුදල් මෙරට සිටින ඔහුගේ මිතුරන් විසින් චීනයට රැගෙන යාම සදහා ලබා දුන් බවය. මේ පිළිබද විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් මත ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නොනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජය රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික‍්‍රමසිංහ මහතාගේ මෙයෙවීමෙන් රේගු අධිකාරී ඞී. රත්නකුමාර , සහකාර රේගු අධිකාරීවරුන්වන හසන්ත කෞෂල්‍ය, දිනූෂ හෙට්ටි ආරච්චි, රුවන් අල්විස් යන නිලධාරීහු සිදු කළහ.