සෑම චිත්‍රපටයක්ම මුල් ප්‍රදර්ශන වාරය සඳහා පිටපත් 35කට සීමා කළ යුතු බව සඳහන් කරමින් ශ්‍රී ලංකා චිත්‍රපට සංස්ථා සභාපතිවරයා නිකුත් කළ ලිපිය බල රහිත කරමින් කොළඹ දිසා අධිකරණය අද (8) වාරණ නියෝගයක් නිකුත් කළේය.
ජනවාරි පළමුවැනිදා සිට බලපැවැත්වෙන පරිදි සෑම චිත්‍රපටයක්ම මුල් ප්‍රදර්ශන වාරය සඳහා පිටපත් 35කට සීමා කළ යුතු බවට නියෝග කරමින් ඉකුත් දෙසැම්බර් 13 වැනිදා නිකුත් කළ ලිපිය වලංගු නොවන බැවින් ඊට එරෙහිව වාරණයක් නිකුත් කරන්නැයි ඉල්ලා චිත්‍රපට නිෂ්පාදකවරුන් පස්දෙනකු ගොනු කළ පැමිණිල්ලක් සලකා බලමින් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු අමල් රණරාජා මහතා විසින් මෙම වාරණය ලබා දුන්නේය.
චිත්‍රපට නිෂ්පාදකවරුන් වන ආචාර්ය සෝමරත්න දිසානායක, සුනිල් ප්‍රනාන්දු, ප්‍රසන්ත ගයාන් රණධීර, රාජා සදීෂ් කුමාර් සහ ඊ ඒ පී ෆිල්ම්ස් ඇන්ඩ් තියර්ස් මෙහි පැමිණිලිකරුවෝ වෙති.
වගඋත්තරකරුවන් වශයෙන් ජාතික චිත්‍රපට සංස්ථාව, එම සංස්ථා සභාපති අශෝක සේරසිංහ නම් කරනු ලැබ ඇත.
ලබන 22 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි වාරණය ලබා දුන්නේය.