චමින්ද කුලරත්නට ලන්ඩන් සුභපැතුම්


ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහා කොමසාරිස් කාර්යාලයේ ක්‍රියාශීලී තානාපති නිලධාරියෙකු ලෙස කාගේත් සිත් දිනාගනිමින් සිය සේවා කටයුතු කාර්යක්ෂම අන්දමින් ඉටුකළ චමින්ද කුලරත්න සිය සේවා කාලය අවසන්කොට ශ්‍රී ලංකාව වෙත ආපසු යාමට නියමිතය. 

ලන්ඩන් නුවර සිටි කාලයේ ඔහුගෙන් සිදුවූ සේවය සඳහා කෘතඥ තාවය පළකිරීම මෙන්ම ඔහුගේ ඉදිරි රාජකාරි කටයුතු සඳහා සුභ පැතීමත් අරමුණු කරගත් විශේෂ මිතුරු හමුවක් පසුගියදිනක බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පවත්වනු ලැබිය.

මෙම විශේෂ මිතුරු හමුව සංවිධානය කර තිබුනේ ඊස්ට්හැම් පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටීවන් ටිම්ස්, ඊස්ට්හැම් නගර සභා මන්ත්‍රීනි ලක්ෂ්මි ෂා සමඟ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ බ්‍රිතාන්‍ය නියෝජිත නලින් පෙරේරා විසිනි.

මෙම හමුව සඳහා ශ්‍රී ලංකා මහකොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්, සහකාර මහා කොමසාරින් නෙවිල් ද සිල්වා, ලන්ඩන් නුවර සේවය කරන විවිධ රටවල තානාපති නිලධාරීන් . පොදුරාජ්‍ය මණ්ඩල කාර්යාල නිලධාරීන්, විදේශ අමාත්‍යංශ නිලධාරීන් මෙන්ම ශ්‍රී ලාංකික ආරාධිතයින්ද විශාල ප්‍රමාණයක් සහභාගී වුහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී ස්ටීවන් ටිම්ස් සහ නගර සභා මන්ත්‍රීනි ලක්ෂ්මි ෂා ට අමතරව දොස්තර ක්‍රිස් නෝනිස්, නලින් පෙරේරා, අනුර හැගොඩ, ප්‍රදීප් කන්දප්පා, අම්ජාඩ් සලීම් සහ ක්‍රිස්ටීනා මැක්ඩොනල්ඩ් යන අයද චමින්ද කුලරත්නගේ සේවය අගයමින් කතා පැවැත්වුහ.