චන්ද්‍රිකා ග්‍රාහක ගෙනාවට දඩ


 

චන්ද්‍රිකා ග්‍රාහක 103 ක් සහ ලොකු ලූණු බීජ කිලෝග්‍රෑම් 64 ක් නීති විරෝධී ලෙස ඉන්දියාවේ සිට මෙරටට ගෙන ආ ඉන්දියා ජාතික පුද්ගලියින් දෙදෙනෙකුට රුපියල් දස දහස බැගින් දඩ නියම කළ රේගුව එම භාන්ඩ රාජසන්තක කළේය.

චන්ද්‍රිකා ග්‍රාහක මෙරටට ගෙන ඒමේදී විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ  අනුමැතියත්,  ලොකු ලූණු බීජ සදහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගත යුතු වුවත් ඒ කිසිදු අනුමැතියකින් තොරව මේවා ගෙනවිත් තිබූ බව රේගු මාධ්‍ය ප‍්‍රකාශක රේගු නිවාරණ අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.

 අත් අඩංගුවට ගනු ලැබූ   චන්ද්‍රිකා ග්‍රාහක වල  වටිනාකම රුපියල් ලකෂ පහක් වන බවත්  ලොකු ලූනු බීජ වල වටිනාකම රුපියල් ලක්ෂ තුනක් වන බවත් රේගුව කියයි.

නිතර නිතර ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බව කියන මොවුහු ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 124 දරණ ගුවන යානයෙන්   ඉන්දියාවේ චෙන්නායි නුවර  සිට ඊයේ  රාත‍්‍රී 10.30 ට පමණ  මෙරට පැමිණ ඇත. 
සැකකරුවෝ මෙම භාන්ඩ ගමන් මලූ  හතරක බහා මෙහි ගෙනවිත් තිබූ බව රේගුව කියයි.  රේගු නිලධාරීන් විසින්  මුලින්ම එක් සැකකරුවෙකුගේ ගමන් මලූ  පරික්ෂා  කරද්දී  අනෙකා   සූක්ෂම ලෙස පලා ගොස්  ඇත.
පසුව ඔහු පැය හයක් පමණ ගුවන්තොටුපොළ පැමිණීමේ පර්යන්තයෙහි සැගවී සිට ඇති අතර පසුව  ඊයේ අළුයම හතරට පමණ ගුවන්තොටුපොළෙන් පිටවීමට උත්සහ කරද්දී අත්අඩංගුවට ගැනීමට රේගු නිලධාරීන් සමත් ව ඇත.
මේ පිළිබඳ විමර්ශන කටයුතු රේගු අධ්‍යක්ෂක ජනරාල් ජගත් පී විජේවීර මහතාගේ උපදෙස් පිට ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක සරත් නෝනිස් මහතාගේ අධීක්ෂනය යටතේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක කේ.ඞී රුවන් පතිරණ මහතාගේ මෙහෙයවීමෙන්  ගුවන්තොටුපොළ රේගු  නිලධාරීහු සිදු කළහ.